Sunday, June 3, 2018

අපේ සෝම හාමුදුරුවෝ

රට, දැය, සසුන සුරකින්නට පෙරට විත් ලක්වැසි සිත් අවිදු අඳුර දුරලූ උතුම් බුද්ධ පුත්‍ර 
ශ්‍රී ධර්මරක්ෂිත වංශාලංකාර අනුවිජ්ජක 
ගංගොඩවිල සෝම නා හිමිපාණන්ගේ පූජිත ජීවිත කතා පුවතෙන් 
"සන්රස" ඇසිදිසි බොදු වියමන මෙලෙස ඇරඹෙන වගයි. 



උතුම් පුතෙක්
කොළඹ නගර සභාවේ සේවයේ නියුතුව සිටි වීරතුංග ආරච්චිගේ දොන් ධර්මදාස මහතාගේත් පියාගේත් හෙට්ටිගේ දොන් චාලට් මවගේත් දරු සිහින සැබෑ කරමින් 1948 වසරේ අප්‍රේල් මස 24 වැනිදා මෙලොව එළිය දුටු පිංවත් දරුවා "වීරතුංග ආරච්චිගේ දොන් සෝමරත්න" නම් ලද්දේය. නුගේගොඩ, ගංගොඩවිල හැදී වැඩුන සහෝදර සහෝදරියන් පස් දෙනෙක්ගෙන් යුත් පවුලේ වැඩිමලා වූයේ සෝමරත්න ලොකු අයියාය. ග්‍රීන්ලන්ඩ් විද්‍යාලයෙන් (1956 බුද්ධ ජයන්ති වසර හා සමගාමීව 1961 දී ඉසිපතන විද්‍යාලය බවට පත් වූ) හා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් අධ්‍යාපනය හැදෑරූ සෝමරත්න සිසුවා පාසැල් විෂය ධාරාවේ අනෙකුත් විෂයන්ට වඩා බුදු දහම ඉගෙන ගැනීමට මහත් ලැදියාවක් දැක්වීම විශේෂත්වයකි. සෝමරත්න සිසුවා ගංගොඩවිල සුභද්‍රාරාමයේ ශ්‍රී රේවත දහම් පාසලට සහභාගී වූයේ මහත් උනන්දුවකිනි. ධර්මදාස පවුල මිරිහාන ප්‍රදේශයට ස්ථිර පදිංචිය පැමිණීමෙන් පසු සෝමරත්න මිරිහානේ ශ්‍රී රෝහණ දහම් පාසලට ඇතුලත් කෙරිණ.

වැඩිදුර බුදු දහම හැදෑරීම සඳහා පසුව බම්බලපිටියේ වජිරාරාමය වෙත පිවිසෙන සෝමරත්න සිසුවා එහිදී ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුහි නිරත වූයේය. බුදු දහම අධ්‍යනයෙහිලා ඔහු දැක්වූ විශේෂ දස්කම් හේතුවෙන්, 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දීම දහම් පාසැලේ පන්තියක් භාරව ඉගැන්වීම් කටයුතු කිරීම පැවරිනි. පාසැල් වියේ රග්බි ක්‍රීඩකයෙක් ලෙස දස්කම් දැක්වූ වූ සෝමරත්න ඉතා ක්‍රියාශීලී මෙන්ම කාර්යශූර පුද්ගලයෙකි. සැමවිටම උතුම් නායකත්ව ගුණාංග ප්‍රකට කළ සෝමරත්න දහමට ලැදි තමා වැනිම සිසුන් එකමුතු කරමින් "බෝසත් ශිෂ්‍ය සම්මේලනය" නමින් ක්‍රියාකාරී බෞද්ධ සංගමයක් නිර්මාණය කලේ මෙම අවධියේදීමය.

පාසල් අධ්‍යාපනයෙන් පසුව තරුණ සෝමරත්න මිරිහානේ වෙළෙඳසැලක් ආරම්භ කළේය. වෙළහෙළඳාම් කටයුතු අතරවාරයේදී ඔහු මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ පැවැති ධර්ම දේශනා හා පෝය දින වැඩසටන් වෙත නොවරදවාම සහභාගී වෙමින් එකල ගිහි අභිධර්ම දේශකයෙකු ලෙස සුප්‍රකට ඒ.ඩී.එම් බුද්ධදාස මහතාගෙන් අභිධර්මය මැනැවින් හැදෑරීය. පසුව ධර්මය හා අභිධර්මය පිළිබඳ පුළුල් වූ ධර්මඥානයකට හිමිකම් කී නිසාම සෝමරත්න තරුණයාට පොහොය දින වලදී මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ සිල් සමාදන් වූ ගිහියන්ට ධර්මානුශාසනා කාර්යයද පැවරිණ.

ගිහිගෙයින් පැවිදි බිමට
වෙළඳාමට වඩා දහමට ඇලුණු සිත් ඇති සෝමරත්න තරුණයාට වජිරඥාන ධර්මායතනයේ පැවිදි වීමේ සිත් පහළ වූවද දෙමාපිය අකමැත්ත ඊට හරස් විය. පසුව දෙමාපියන්ගෙන් දැඩි ලෙස ඉල්ලීම් කර කැමැත්ත දිනා ගැනීමට සමත් වෙන ඔහු මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන්ගේ අනුශාසනා මත 1974 වසරේ සැප්තැම්බර් 24 වනදා මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේදී "ගංගොඩවිල සෝම" නමින් පැවිදි දිවියට පිවිසුනේය. ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරව බහුමානයට පාත්‍ර වු භික්ෂූන්වහන්සේලා දෙනමක් වන පුජ්‍ය මඩිහෙ පඤ්ඤාසීහ මහා නා හිමි හා පුජ්‍ය අම්පිටියේ රාහුල නා හිමි සෙවණේ සාමණේරනමක් ලෙස ධර්ම - විනය පිළිබඳ මැනැවින් හැදෑරූ සෝම සාමණේරයන් වහන්සේ බුදුන්වහන්සේ විසින් උගන්වනු ලැබු භාවනාව විෂයක් ලෙස අධ්‍යනය කිරීමට විශේෂ කැමැත්තක් දැක්වූ භාවනාවේ දක්ෂ සිසුවෙක් වූහ. සාමණේර අවධියේ සෑම සති අන්තයකම මහරගම පිළිකා රෝහලට වැඩම කරන උන්වහන්සේ රෝහල් කාර්ය මණ්ඩලය සමඟ එක් වී රෝගීන්ට උපස්ථාන කරමින් ඔවුන් වෙනුවෙන් ධර්ම වැඩසටහන් මෙහෙයවීම සිදු කළහ. ධර්මායතනයේ දහම් පාසලේද ක්‍රියාකාරී හිමිනමක් වූ උන්වහන්සේ 1975 වසරේ ඇසළ මාසයේදී මඩිහේ මහා නායක හිමියන්ගේ උපදෙස් මත නුවණින් යුත් අනාගත පරපුරක් නිර්මාණය කිරීම සඳහා බෞද්ධ චින්තනය මත පදනම් වූ තරුණ සංවිධානයක් ලෙස නිර්මාණය වූ “තුරුණු සවිය” සංවිධානය මෙහෙයවීමේ වගකීම භාර ගත්හ. සෝම හිමිපාණෝ වර්ෂ 1976 මැයි මස 26 වැනිදා ධර්මධර විනයධර සුපේක්ෂල ශික්ෂාකාමී භික්ෂුවක ලෙස උපසම්පදාව ලැබූහ.

දැය පුබුදන පළමු වෑයම
සෝම හිමියන්ගේ නායකත්වයෙන් යුතු “තුරුණු සවිය” සංවිධානය වටා මුලදී තරුණ තරුණියන් සුළු සංඛ්‍යාවක් පමණක් සහභාගී වුවද කල් යත්ම එය දස දහස්‌ ගණන් තරුණ පිරිස්‌ ඒකරාශී කරන, ජාතිය අවදි කරන බලවේගයක්‌ බවට පත්විය. රට, දැය, සසුනට හිතැති සැබෑ බෞද්ධයන් බිහිකිරීමේ අරමුණෙන් සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය සංවාදශීලි ධර්ම සාකච්ජා ආදිය රට පුරා ජනයා රැස් වන ස්ථානයන්හි සංවිධානය කරමින් පොදු ජනතාව අතරට සුපිරිසිදු බුදු දහම සන්නිවේදනය කරමින් “තුරුණු සවිය” සංවිධානය පෙරටු කොටගත් සෝම හිමියෝ මහත් සේ වෙහෙසුනහ. තෙරුවන් වැදීම හා මල්පහන් පූජා කිරීමෙන් ඔබ්බට ගොස් “සැබෑ බෞද්ධයා යනු කවුරුන්ද”, “දෙවියන් යැදීමෙන් මෙලොව යහපත උදා කර ගත හැකිද”, “මිත්‍යා විශ්වාස මුල්කර ගනිමින් සිදු කරන පිළිම නිර්මාණය” වැනි මාතෘකා ඔස්සේ උන්වහන්සේ පැවැත්වූ ධර්ම දේශනා නිසා පහන් සංවේගය උපදවාගත් පිංවතුන් ගණන දස දහස් ගණනකි. “තුරුණු සවිය” වැඩපිළිවෙල පිළිබඳ නොපහන් වූවෝද සිටි අතර ඔවුන් විවිධ චෝදනා, අපවාදයන් නගන්නට වූහ. දහමට පරිබාහිර කිසිදු වැරදි කටයුත්තක් තම සංවිධානය තුළ සිදුනොවන බව මේවාට පිළිතුරු දෙමින් සෝම හිමියන් සෘජුව ප්‍රකාශ කළහ. මෙම ප්‍රකාශයත් සමඟ දායක සභාවේ යම් පිරිසක් සෝම හිමියන් සමඟ නොමනාපකම් ඇති කරගත්තද උන්වහන්සේ ඒ කිසිත් නොතකා සිය මෙහෙවරේ පෙර සේ නියැලුන අතර හැත්තෑව දශකයේ අග භාගය වන විට ධර්මායතනයේ දහම් පාසලේ උන්නතිය වෙනුවෙන් ඉතා කැපවීමෙන් කටයුතු කරමින් එහි ප්‍රධානාචාර්ය ධූරයේ වගකීම් මැනැවින් ඉටු කළහ. පසු කලක "බෝධි පූජාව හා සෙත් පිරිත්", "ධම්ම චින්තා", "බුදු ගුණ මෛත්‍රී ශාන්තිය", "මේ විපතින් ජාතිය ගලවන්නට නම්", "සෞභාග්‍යයේ දොරටුව", "දේව සංකල්ප", "ධම්ම පදය", "ලොව්තුරු සුවඳ" හා "බුද්ධ ස්ථූප" වැනි දහම් ග්‍රන්ථ රචනය තුළින් බෞද්ධයා වෙත නිර්මල බුදු දහමේ පණිවුඩය බෙදා දුන් සෝම හිමිපාණන්ගේ පළමු ග්‍රන්ථය වන “රාහුල මාතා” කෘතිය රචනා වූයේද මේ අවධියේය.

අරණක දැහැනකට සමවැද



තරුණ හිමිනමක්‌ ලෙස දිනෙන් දින ප්‍රසිද්ධියට පත්වෙමින් සිටි සෝම හිමියන්ට සාම්ප්‍රදායික සමාජයෙන් විවේචනයන් එල්ල වුවත් අටලෝදහමට අනුව කම්පා වීමෙන් ඵලක්‌ නොමැති බව දැන සිටි නිසා උන්වහන්සේ ඒවා කිසිවක්‌ භාර ගත්තේ නැත. එහෙත් තමන් වහන්සේ දැඩි සේ පීඩාවට පත් කළ විවේචනවලදී සෝම හිමිපාණෝ හුදෙකලා වෙමින් තම ආධ්‍යාත්මික ශක්‌තිය වඩවා ගැනීමට හුරු පුරුදුව සිටියහ. සෝම හිමිපාණෝ තමන් වහන්සේ සාමනේර අවධියේදී ඉතා උනන්දුවෙන් හැදෑරූ භාවනා මගට කෙටි කාලයකට හෝ පූර්ණ කාලීනව පිවිස පැවිදි ශික්ෂාවන් සම්පූර්ණ කරගැනීමට මේ සුදුසුම කාලය යැයි තීරණය කළහ. උන්වහන්සේ ඒ උදෙසා එතෙක් වැඩ සිටි ධර්මායතනයෙන් බැහැරව අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රදේශයේ “උණුවතුර බුබුල” නම් අති දුෂ්කර ගම්මානයේ පිහිටි වෙහෙරගල ආරණ්‍යයට වැඩම කළහ. එවැනි දුෂ්කර ප්‍රදේශයකට නොයන ලෙස බොහෝ දෙනෙක් ඉල්ලා සිටියද උන්වහන්සේ ඒ සියළු දෙනාටම සිනහමුසු මුහුණින් යුතුව තමා පැවිද්දෙකු බවත්, පැවිද්දකුට දුෂ්කර ජිවිතයක් ගත කිරීම අපහසු නොවන බවත්, ශ්‍රමණ ප්‍රතිපදාවන් වැඩීමට වඩාත් සුදුසුවන්නේ අරණ්‍යවාසී වීම බවත් පිළිතුරු දුන් බව පැවසේ. මාස ගණනාවක් තිස්සේ පිණ්ඩපාතයෙන් දවසට එක් වරක් පමණක් යැපෙමින් භාවනායෝගීව සිටි උන්වහන්සේ, නායක ස්වාමින් වහන්සේගේ හා දායකයන්ගේ ඉල්ලීම මත ධර්මායතනයේ නව විහාර මන්දිරය නිර්මාණය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයතු කරන්නට නැවතත් ධර්මායතනය වෙත වැඩම කළහ. එම කටයුතු අවසාන වූ සැනින් නැවත ආරණ්‍යගත වෙන සෝම හිමිපාණෝ භාවනායෝගීව නැවතත් පැවිදි ශික්ෂා ප්‍රගුණ කිරීම ඇරඹූහ.

මහඔය සිට කැළණියට පා ගමනින්


ගම්බදව වෙසෙන ජනතාවගේ හිත සුව පිණිස තමා ආරණ්‍යගතව වැඩවෙසෙන වෙහෙරගල සිට ඌව, දකුණ හා සබරගමුව ආදී පළාත් රැසක් ආවරණය කරමින් කැළණිය දක්වා ධර්මය දේශනා කරමින් පාගමනින් වැඩම කිරීමට මේ අතරවාරයේ සෝම හිමිපාණෝ තීරණය කළහ. ඉතා දුෂ්කර ප්‍රදේශ ඔස්සේ වන සතුන්ගෙන් බේරී යාම ඉතා අපහසු බැවින් එලෙස පාගමනින් නොවඩින ලෙස වෙහෙරගල ගැමියන් විසින් ඉල්ලා සිටියද දුෂ්කර පෙදෙස්වල ජනතාවට ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාවක් නොලැබෙන නිසා තමන් මේ ගමන නොනවත්වා යන බවත්, එය පැවිද්දෙකුගේ යුතුකම බවත් උන්වහන්සේ ප්‍රකාශ කළ බැව් පැවසේ. සති පහක කාලයක් තිස්සේ සැතපුම් දෙසියයක් ඉක්මවන පාද චාරිකාවේ යෙදුනු උන්වහන්සේ එම ප්‍රදේශ වල සිටි ගැමියන්ට ධර්මය දේශනා කරමින් පිණ්ඩපාතයෙහි වැඩියහ. රාත්‍රී කාලයට එම ප්‍රදේශයන්හි විහාරාරාමයන්හි වැඩ වාසය කළහ. අවසානයේ සෝම හිමිපාණෝ නොපසුබස්නා වීර්යයෙන් යුතුව ඉදිරියටම වැඩම කරමින් කැළණි විහාරයෙන් තමන් වහන්සේගේ සදහම් පාද චාරිකාව අවසන් කළහ. ඉන්පසු උන්වහන්සේ මහරගම ධර්මායතනයට වැඩම කළේ තමන් වහන්සේ විසින් අරඹන ලද සදහම් මෙහෙවර තවදුරටත් ඉදිරියට රැගෙන යනු පිණිසය. මේ සියල්ල සිදුවන අතරේ, ධර්මායතන දායක සභාවේ ඇතැමෙක් සෝම හිමියන් සිදුකරන්නේ වනගතව භාවනා කිරීම නොව පැවිද්ද අතහැර දුස්සීල දිවියක් ගත කිරීම යැයි විවිධ අසත්‍ය ප්‍රචාර පතුරවමින් මඩිහේ පඤ්ඤාසීය නායක හිමියන්ගේ සිත සෝම හිමියන් හා බිඳවීමෙහිලා උත්සහ කළද අවසානයේ එම කටකතා අසත්‍ය බවත් ගංගොඩවිල සෝම හිමියන් නිවැරදි බවත් නායක හිමියන් විසින් තීරණය කළ බැව් කියැවේ.

ඕස්ට්‍රේලියාවට වැඩම කිරීම
සෝම හිමිපාණන්ගේ සද්ධර්ම මෙහෙවර පිළිබඳ පහන් සංවේගයට පත් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින්, ශ්‍රී ලංකාවේදී සෝම හිමිපාණන්ට එල්ල වන චෝදනා හා බාධක මගහැර ඔස්ට්‍රේලියාවට වැඩම කර ඕස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගනිමින් ධර්ම ධූත මෙහෙවරේ නියැලෙන ලෙස 80 දශකයේ මුල් භාගයේදී පමණ ආරාධනා කරනු ලැබීය. මෙම ආරාධනාව පිළිගනිමින් සෝම හිමිපාණෝ 1986 වසරේ වෙසක් මාසයේ සෝම හිමි ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවට වැඩම කරන ලද අතර උන්වහන්සේ මාස තුනක පමණ කාලයක් රිච්මන්ඩ් බෞද්ධ විහාරයේ වැඩ වාසය කළහ. ලාබ සත්කාර නොලැබේයැයි වැරදි ඉදිරියේ මුනිවත රැක සිටීම සෝම හිමිපාණන්ගේ ලක්ෂණය නොවීය. සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් උන් වහන්සේ සැම විටම අනුදැන වදාළහ. මෙය ඔස්ට්‍රේලියාවේ විසූ ඇතැම් ශ්‍රී ලාකික බෞද්ධයන් බලාපොරොත්තු නොවූ තත්ත්වයක් බැව් පැවසේ. කෙසේ වෙතත් සෝම හිමිපාණන්ගේ උදාරතර සදහම් මෙහෙවර කෙරෙහි බැතිබර ගෞරවයක් ඇතිකොටගෙන සිටි ශ්‍රී ලාකික බෞද්ධයන්ගේ ආරාධනා පරිදි 1989 දී නැවතත් සෝම හිමිපාණෝ ඕස්ට්‍රේලියාවට වැඩම කළහ. එවකට ඕස්ට්‍රේලියාවේ මහායාන ධර්මය ප්‍රචලිත වී තිබු බැවින් නිවැරදි ථෙරවාදී බුදු දහම නිවැරදි ආකාරයෙන් සමාජ ගත කළ යුතු යැයි අදිටන් කරගත් සෝම හිමිපාණන් ඒ උදෙසා ඕස්ට්‍රේලියාවේ දායක පිරිස සමග එක්ව ස්ප්‍රින්ග්වේල්, රීජන්ට් විදියේ "මෙල්බන් ශ්‍රී ලංකා විහාරය" නමින් මෙල්බන් නගරයේ පළමු සිංහල විහාරය ස්ථාපිත කළහ.

මේ අතරතුර වැරදි අඩුපාඩු කෙලින්ම පෙන්වා දීම හේතුවෙන් යම් පිරිසක් සෝම හිමිපාණන් සමග උරණ වී ඔවුන් සෝම හිමියන් විහාරයෙන් නෙරපා දැමීමට රහසේ කටයුතු කළ බව පැවසේ. පසුව සෝම හිමිපාණන් කෙරෙහි හිතවත් ඕස්ට්‍රේලියාවේ විසූ ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ මුලිකත්වයෙන් 1993 මැයි මාසයේදී 30 වැනි දින විවිධ බාධක රැසක් මධ්‍යයේ නෝබල් පාක් ප්‍රදේශයේ රිච් වීදියේ කාමර 2 ක කුඩා නිවසක් කේන්දර කරගනිමින් "වික්ටෝරියා බෞද්ධ මධ්‍යස්ථානය" ස්ථාපිත කෙරිණ. සියළුම ආගම්වල ජනයා ඒ වටා රොක් වෙමින් බුදු දහමට ලැදිව කටයුතු කිරීම නිසා දිනෙන් දින පිරිස වැඩිවෙත්ම එම කුඩා ස්ථානයේ ඉඩකඩ සෝම හිමිපාණන්ගේ ධර්ම ධූත කාර්යයන් නිසියාකාරයෙන් කරගෙන යාමට ප්‍රමාණවත් නොවීය. එබැවින් 1995 වසරේදී සෝම හිමියන්ගේ උපදෙස් මත මිලදී ගන්නා ලද වික්ටෝරියා බර්වික් ප්‍රදේශයේ අක්කර 5 ක භූමි ප්‍රදේශයක වන වගාවක් හා විහාර සංකීර්ණයක් ඉදි කිරීම ඇරඹිනි. සෝම හිමියන්ගේ දුර දක්නා නුවණ හා නිවැරදි දැක්ම සමග 2002 වසරේදී එය "ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය" විහාරස්ථානය ලෙස බුදු සසුන උදෙසා දායාද කෙරිණ. ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය බෞද්ධයන්ගේ එදිනෙදා දිවියට ධර්මානුකූල ආලෝකයක් වී ඇත්තා සේම බුදු දහම හා බෞද්ධ සංස්කෘතිය පිළිබඳ හැදැරීමට කැමති පුද්ගලයන් සඳහා පහසුකම් සැලසීමද සිදු කරනු ලබයි. සෝම හිමිපාණන්ට ඕස්ට්‍රේලියාවේදී එදිරිව කටයුතු කළ ශ්‍රී ලාංකිකයන් පිරිස පසුව උන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටි බව පැවසේ.

නැවතත් සිරිලකට - සිරිලකෙන් ඕස්ට්‍රේලියාවට
1996 දී නැවත ශ්‍රී ලංකාවට වැඩම කළ සෝම හිමිපාණෝ ටික කලක් ලංකාවේ වැඩ වාසය කොට නැවත ඕස්ට්‍රේලියාවට වැඩම කිරීමේ අරමුණින් පසු විය. ඒ පියාගේ රෝගාබාධය සඳහා ප්‍රථිකාර සැලසීමට සහ සහ තමන් වහන්සේගේ අධ්‍යාත්මික දියුණුව වැඩි කර ගනු පිණිසත්ය. ලංකාවේ ටික කලක් වැඩ වාසය කිරීමට අදහස් කර ගෙන සිටියද පියාගේ ආබාධය දරුණු අතට හැරීම නිසා උන්වහන්සේට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ වැඩ සිටින්නට සිදු විය. සෝම හිමිපාණෝ මෙලෙස ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන කාලය අතර තුර විවිධ බාහිර බලවේගයන් හමුවේ බුදු දහම විනාශය කරා ගමන් කරන බව අවබෝධ කරගත්හ. ඒ අතර උන්වහන්සේ ත්‍රස්තවාදී ප්‍රහාර නිසා විපතට පත් ප්‍රදේශ හා දුෂ්කර ප්‍රදේශවල ජනතාවට උපකාර කිරීම සඳහා එම ප්‍රදේශ වලට වැඩම කළහ. කෙටි කාලයක් සදහා නැවත ඕස්ට්‍රේලියාවට වැඩම කළ සෝම හිමියන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනයා ඉන් මුදවා ගැනීම සදහා එහි ආධාර එක් රැස් කිරීම පිණිස සංවිධානයක් ආරම්භ කළහ. ඉන් නොනැවතුන සෝම හිමිපාණෝ ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලාට උපකාර කරමින් විපතට පත් ජනයා හා දුෂ්කර ප්‍රදේශ වල ජනයා සමග ළඟින් ඇසුරු කිරීමටත් විවිධ වු උපකාර කිරීමටත් කටයුතු සංවිධානය කළහ.

දැය අවදි කළ රන් ස්වරය
මවුබිමෙන් ඈත්ව ජීවත්වූ නමුත් මවුබිම දිනෙන් දින අධර්මය කරා යොමු වන නිසා සියල්ලට වඩා තමන් වහන්සේ උපන් බිම ගැන තිබුණු හැඟීම් ඉස්‌මතු වී සෝම හිමිපාණෝ නැවතත් මවුබිමට වැඩම කළහ. ඕස්ට්‍රේලියාවේ සිට නැවත ලංකාව බලා වැඩම කළ සෝම තෙරුන්ට දක්නට ලැබුණේ මත් උවදුර සීඝ්‍රයෙන් වැඩි වූ ලාංකීය සමාජයකි. දිනෙන් දින මත්වතුර රකුසා ජාතිය වඳ කරන බවත් මුදලට යටවුණු මන්දබුද්ධික පාලකයන් මූලධර්ම වාදයට යටත්ව රට පාවාදෙන බවත් ප්‍රකාශ කළ සෝම හිමිපාණෝ සිංහල ජාතිය වඳ වී යෑමේ මූලික හේතු මොළයට මෙන්ම හදවතටත් සෘජුව දැනෙන පරිදි පහදා දුන්හ.


බෞද්ධ ප්‍රතිපදාවෙන් බැහැරව හින්දු දේව වාදයේ ගිලී සිටි සිංහල බෞද්ධයන්ගේ පහත් දීන ගතිවලට තදින් පහරදුන් සෝම හිමියෝ බෞද්ධයාගේ නිත්‍ය ශීලය වන පංචශීල ප්‍රතිපදාව තුළින් පුද්ගල සංවර්ධනය ඇතිකර ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් බෞද්ධයාගේ සැබෑ බෞද්ධකම කුමක්‌ද යන්න පැහැදිලි කළහ. එපමණක් නොව පන්සල් භූමිය තුළ හින්දු දේවාල ස්ථාපිත කිරීමට විරුද්ධව උන්වහන්සේ නැගී සිටියහ. එසේම මූලධර්මවාදීන් විසින් විවිධ වරප්‍රසාදයන් දෙන මුවාවෙන් මෙරට බෞද්ධ ජනතාව මූලධර්මවාදී ආගම්වලට බඳවා ගනිමින්, මෙරට බුදු දහමට මරු පහරක් එල්ල කරමින් සිටියදී ඊට නොබියව මුහුණ දෙමින් ජනතාවට සත්‍යය කුමක් දැයි පැහැදිලි කරදුන්හ. ජනතාව මූලධර්මවාදී බලවේගයන්ගෙන් මුදවා ගැනීම සඳහා උන්වහන්සේ ගම් නියම්ගම් පුරා සැරිසරමින් අභීතව ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතවෙමින් මිසදිටු බලවේග අඩපණ කළහ. සිදුවෙමින් යන මෙම මූලධර්මවාදී විනාශය පිළිබඳ ප්‍රසිද්ධියේ විවේචනය කිරීම හේතුවෙන් සෝම හිමිපාණෝ දැඩි අපහසුතාවයන්ට පවා ලක්වූ අවස්ථා නැතුවාම නොවේ. වසර 2500 කටත් වඩා වැඩි ප්‍රෞඩ ඉතිහාසයක්‌ ඇති බෞද්ධ රටකට පත්ව ඇති ඉරණමට පක්‍ෂ දේශපාලනය වගකිවයුතු බව උන්වහන්සේ නොබියව ප්‍රකාශ කළහ. මැති ඇමැතිවරු හා රටේ නායකයන් දුරාචාරය වපුරද්දී ධර්මදේශනා වලින් පමණක්‌ රටක්‌ නොහැදිය හැකි බව පවසා උන්වහන්සේ මේ විනාශකාරි දේශපාලනය නැවැත්විය යුතු බව අවධාරණය කළහ.

බෞද්ධයන් උත්පත්තියෙන් ආගම ඇදහීමේ ඵලක්‌ නැති බව දේශනා කරමින් සෝම හිමිපාණෝ භක්‌තියට නොව බුද්ධියට මුල් තැන දෙන අලුත් විදියට හිතන බෞද්ධ චින්තන සම්ප්‍රදායක්‌ ඇති කළහ. උන්වහන්සේගේ සුමධුර ධර්ම දේශනා රට පුරා ප්‍රචලිත වන්නට වැඩි කලක්‌ ගත නොවීය. උන්වහන්සේගේ ධර්ම දේශනා විලාසය අනෙකුත් දේශකයාණන් වහන්සේලාට වඩා සුවිශේෂී මුහුණුවරක් ගත් දේශනා විලාසයක් විය. ධර්ම දේශනාව මුල සිට අග දක්වාම අසා සිටින අයට නීරසක් නොවන අයුරින් හා ‍ධර්මය ශ්‍රවණය කරන පිරිසගෙන් ප්‍රශ්න අසමින් දේශනාව තුළ ඔවුන් රඳවා ගැනීමේ සුවිශේෂී හැකියාවක් උන්වහන්සේ තුළ වූහ. සාම්ප්‍රදායික දේශන විලාසයෙන් ඉවත් වූ උන්වහන්සේ කාලානුරූපීව හා දේශානුරූපීව තම ධර්ම දේශනා පැවැත්වූ සේක. සෝම හිමිපාණෝ පුවත්පතට, රූපවාහිනියට නැතිවම බැරි හිමිනමක් විය. "අඳුරෙන් එළියට", "නැණ පහන" වැනි සජීවී රූපවාහිනි වැඩසටහන්, ධර්ම සාකච්ඡා ඔස්‌සේ සෝම හිමිපාණෝ මිනිසුන්ගේ එදිනෙදා ප්‍රශ්න වලට ලබා දෙන ධර්මානුකූල පිළිතුරු මිනිසුන්ගේ හදවතට වඩ වඩාත් සමීප විය. උන්වහන්සේගේ ධර්ම දේශනා කෙතරම් සිත් ගත්තේද යත් විහාරස්‌ථානවල ඉඩ මදි වී විශාල ක්‍රීඩා පිට්‌ටනි වැනි තැන්වල ධර්ම දේශනා සංවිධානය වන්නට විය.


මූලධර්මවාදී බලය බිඳවැටෙමින් පැවති නිසා උන්වහන්සේගේ ජීවිතයට නොයෙකුත් තර්ජන එල්ලවෙන්නට පටන් ගත්තේය. කාලීනව ඒවාට මුහුණ දුන් සෝම හාමුදුරුවෝ පැය භාගයක්‌ බණ නෑසූ රටකට පැය තුනක්‌ තරම් කාලයත් බණ අහන්නට පුරුදු පුහුණු කළහ. ක්‍රිකට්‌ හා හින්දි චිත්‍රපට බැලීමට පමණක්‌ රූපවාහිනි වටා එකතු වූ තරුණ පරපුර බණ ඇසීමට රූපවාහිනි වටා එකතුවන්නට තරම් සෝම හිමිගේ ධර්ම දේශනා සිත්ගන්නා සුලු විය. තරුණ ජීවිතය ධාර්මිකව හැඩගස්වා ගැනීම සඳහා අවශ්‍ය දහම් කරුණු තමන්වහන්සේගේ ධර්ම දේශනා තුළින් සමාජ ගතකිරීමේ ප්‍රතිඵලයක් ලෙස සෝම හිමියන් වටා තරුණ පිරිස් විශාල වශයෙන් එක්රොක් වන්නට වූහ. සෝම හිමි තරුණ හදවත්වලට කොතරම් සමීප ද යන්න උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය සඳහා නිදහස් චතුරශ්‍රය වෙත ලක්දිව සිව්දෙසින් පැමිණි තරුණ පිරිස් කදිම සාක්ෂියකි. පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගෙන් පසු විශාල පිරිසක් ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණියේ නම්, ඒ ගංගොඩවිල සෝම හිමියන්ගේ බණ ඇසීමට යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ.

සෝම හිමිපාණෝ මහජනතාවගේ ජනමත නායකයා බවට පත් වූහ. උන්වහන්සේ දේශනා කරන යථාර්ථය අවබෝධ කරගත් මිනිසුන්ගේ එකතුවෙන් දුරාචාරයෙන් මුසපත් වූ දේශය යළි ගොඩනැඟීමේ උදාර අරමුණ ඇතිව "සදාචාරය ජාතියක සෞභාග්‍යය උදාකරයි" යන තේමාව යටතේ "ජනවිජය පදනම" ආරම්භ කෙරිණ. රටපුරා ජනවිජය පදනමේ ශාඛා සංවිධාන බිහිවීමත් සමඟ දේශපාලන පක්‍ෂ බියෙන් සලිත වන්නට විය. අනගාරික ධර්මපාලතුමා, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමිගෙන් නැවතුණු සිංහල ජාතික ව්‍යාපාරයට උන්වහන්සේ නායකත්වය දෙන්නට වූහ. ඒ සඳහා "ජනවිජය පුවත්පත" ද ආරම්භ කෙරිණි. මේ නිසාම පවත්නා රජයන් සෝම හිමිට නොයෙක්‌ උපක්‍රම මගින් පහර දෙන්නට විය. මූලධර්මවාදීන්ට මතවාදීව දැඩි ලෙස දුන් පහර නිසාම ඔවුහු පසුබසින්නට වූහ. ඔවුන්ගේ අවසාන තීරණය වූයේ සිංහලයන්ට නායකත්වය දෙන සෝම හිමියන් ගේ ගමනට බාධා පැමිණවීමයි. මේ පිළිබඳ සෝම හාමුදුරුවන් ප්‍රකාශ කළේ බුදුන් වහන්සේද මාර පරාජය කළ බවත් ජාතිය වෙනුවෙන් ශාසනය වෙනුවෙන් ජීවිතය පුදා හෝ රකින බවත්ය.

කාලීන අවශ්‍යතා අනුව හැඩ නොගැසෙන සංඝ සමාජය වෙත ද උන්වහන්සේගේ ඇඟිල්ල දිගු විය. දූෂිත දේශපාලනය තමාට අභියෝගයක්‌ බව දැනගත් සෝම හිමියෝ රටේ මෙතෙක්‌ පැවැති ජාතික ව්‍යාපාරයන් නව මාවතකට ගොනුකරමින් ජාතික සංඝ සම්මේලනය වැනි සංවිධාන සමඟ සහජීවනයෙන් කටයුතු කිරීමට සූදානම් වූහ. රට බේරාගැනීමට අවශ්‍ය නම් ජනාධිපති ධූරයට වුවත් යෑමට සූදානම් බව සෝම හිමිපාණන් පැවසමින් භික්‍ෂුන් වහන්සේලාගේ මැදිහත් වීම මත පදනම් වූ නව සදාචාර සම්පන්න දේශපාලනයක්‌ ගැන ඉඟි කළේ ඓතිහාසික නුවර දළදා මාළිගාව ඉදිරිපිට පැවැත්වූ දේශනයේදීය. "අපි කීප නමක්‌ අපවත් වී හෝ මේ ජාතිය බේරා ගත යුතුයි" යෑයි උන්වහන්සේ එදා පැවැසූහ.



දැයෙන් සමුගැනීම
රට දැය සසුන සුරකින්නට ඉදිරි වැඩපිළිවෙළක්‌ සකසමින් සිටි මොහොතක සෝම හිමිපාණන්ගේ ගුරුදේවයානෝ වූ අති පුජ්‍ය මඩිහෙ පඤ්ඤාසීහ මහා නා හිමිපාණෝ ගිලන්ව අපවත් වූහ. මහානායක හිමියන්ගේ අපවත් වීමත් සමඟම සෝම හිමියෝ හිතවතුන් ලෙස පෙනී සිටි ගිහි පැවිදි පිරිසගේ කටයුතු නිසා දැඩි සිත් තැවුලකින් පසු වූහ. ඒ අතරවාරයේදී සෝම හිමිපාණන් විසින් රචනා කරන ලද "බුද්ධ ස්‌ථූප" ග්‍රන්ථය අරභයා උන්වහන්සේ වෙත පිරිනමන්නට යෝජිත දර්ශන විද්‍යා ආචාර්ය උපාධිය ලබාගැනීමට 2003 වසරේ ඔක්තෝම්බර් 3 වනදා රුසියාවට වැඩම කරන ලෙසට රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි International University of Fundamental Studies විශ්ව විද්‍යාලයෙන් ආරාධනා කෙරිණ. සෝම හිමිපාණන් රුසියාවට වැඩමකරවීම හා උපාධි පිරිනැමීම පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබුවේ එම විශ්ව විද්‍යාලයේ කුලපති ශ්‍රී ලාංකික මහාචාර්ය ශාන්ති පී. ජයසේකර (Mahatma Shanti P. Jayasekara) මහතා විසිනි. පවතින පීඩාකාරී වාතාවරණයෙන් මිදී යම් වෙනසක් බලාපොරොත්තුවෙන් රුසියාවට වැඩම කිරීමට සෝම හිමිපාණෝ තීරණය කළේ සතියක කාල සීමාවකටයි. එනමුදු රුසියාවට වැඩම කළ මොහොතේම අනපේක්‍ෂිත ලෙස රෝගාතුරවූ සෝම හිමි රෝහල් ගත කරනු ලැබූ බව කියවේ. සෝම හිමිපාණන් වෙත ආචාර්ය උපාධිය පිරිනමන ආකාරය පිළිබඳ අදාල විශ්ව විද්‍යාලයෙන් වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත්ව තිබේ.

මහාචාර්ය ශාන්ති පී. ජයසේකර විසින් youtube වෙත එක් කරන ලද්දකි. 

වෛද්‍යවරුන්ගේ උපදෙස්‌ මත ප්‍රතිකාර ලබමින් මාස 3 ක්‌ රෝහල්ගත වී සිටීමට උන්වහන්සේට සිදු විය. රෝහල්ගත කරන සිටින අතරවාරයේ ඇති වූ දරුණු හෘදයාබාධයක් හේතුවෙන් 2003 දෙසැම්බර් 12 දින සෝම හිමිපාණෝ අපවත් වූහ. නොසිතූ මොහොතක, නොසිතූ ලෙසකට දුරු ඈත සීතල රටකදී සෝම හිමිපාණන්ගේ හදිසි අපවත් වීම දරාගත නොහැකිව බෞද්ධ ලෝකයා කම්පා වෙන්නට විය. ජාතියේ රන් ස්‌වරය නැති සොවින් සියලු ලක්‌ දරුවෝ කම්පාවට පත්වූහ. පුරා සතියක්‌ සෝම හිමිගේ දේහය ගෙන්වා ගැනීමට නොහැකි වූ පාලකයන් ප්‍රතික්‍ෂේප කරමින් සෝම හිමි නාමය වෙනුවෙන් සිංහලයා එකතුවන්නට පටන් ගත්හ. රුසියාවේ ජීවත්වන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු හා රුසියානු ගුවන් සේවය වූ 'එරොප්ලොට්' ගුවන් සේවාවේ ඒජන්ත ආචාර්ය ධර්මදාස වික්‍රමගේ මහතාගේ මැදිහත්වීමෙන් ඔහුගේ ගුවන් සේවා සමාගමේ ගුවන් යානයකින් උන්වහන්සේගේ දේහය සිරිලකට වැඩම කෙරිණ. ඉන් පසු ඉමහත් හරසර මැද දේහය මහරගම වජිරඥාන ධර්මායතනයට වැඩම කෙරිණ. 2003 දෙසැම්බර් 24 වැනිදා නිදහස්‌ චතුරශ්‍රයේදී දස දහස්‌ ගණනක මහ සඟරුවනද ලක්‍ෂ සංඛ්‍යාත මහජනයා සහ ජාතියේම දුක්‌ සෝ සුසුම් මැද බෞද්ධ රාජ්‍යයක්‌ උදෙසා ජාතිය පෙළගස්‌වමින් මහපොළොවද කම්පා කරමින් සෝම හිමිපාණෝ දැයෙන් සමුගත්හ.

සෝම හිමිපාණෝ තමන් වහන්සේගේ අන්තිම කැමැති පත්‍රය අවසන් කර ඇති වගන්තිය පවා බෞද්ධයන්ට ධර්ම දේශනයක්‌මය. එනම්, 
"ජීවිතයේ අවසානය කොතැනක සිදුවේ දැයි කාහට කිව හැකිද? 
සසරින් මිදීම ගැන සිතා අප්‍රමාදව කටයුතු කරන මෙන් සෑම දෙනාගෙන් ඉල්ලා සිටිමි. මීට මෙත් සිතැති ගංගොඩවිල සෝම ස්‌ථවිර".





No comments:

Post a Comment