Saturday, June 2, 2018

උඩුවක ඇල්ල - Uduwaka Waterfall




උදේ වැඩට යනවා හවස ගෙදර එනවා ඇඟ හෝදනවා උයා පිහා ගත්ත දෙයක් කාලා නිදාගෙන ආයෙ පහුවෙනිදා වැඩට යනවා, ගන්න හුස්ම පොදත් බරක් - ජීවිතේම මහ බරක් වගේ දැනෙන වෙලාවල්  ඕනෑ තරම් තියෙනවා නේද? එකතැන කැරකෙන පල්වෙන ජීවිතෙන් එක දවසකටවත් ඈත් වෙලා නිදහසේ ඉඳලා, ඉස්සරහ ජීවිතේට අලූ‍ත් ජවයක් අරං ගැම්මක් අරං එන්න  ඕනෑ කියලා හිතුන නිසා වෙන්න පුළුවන් ඔයා මේ ටැබ්ලොයිඞ් පිටුව කියවන්න පටන් ගත්තෙ. යමු කෑගල්ල දිස්ත‍්‍රික්කේ වරකාපොළ ප‍්‍රාදේශීය බල ප‍්‍රදේශෙට අයිති, වැඩිය ප‍්‍රසිද්ධ නැති පුංචි දිය ඇල්ලක් බලලා විඳලා නාලා එමු!

මේ ගමන ටිකක් දුෂ්කර ගමනක් හින්දා පාරෙ බස් එකේ, බස් එකෙන් බස් එකට මාරු වෙවී නෑවිත් වාහනේකම යන්න පුළුවන් නම් මේ සුන්දරත්වය වඩා විඳින්න පුළුවන් වෙන්නෙ කියලා මම යෝජනා කරනවා. වේයන්ගොඩ / නිට්ටඹුව පැත්තෙන් එනවා නම් අත්තනගල්ල රජමහා විහාරෙ තොරණ හංදිය ඉස්සරහින් අලවල - ගලපිටමඩ පාරට දාලා එන්න. වරකාපොළ පැත්තෙන් එනවා නම් ගලපිටමඩට ඇවිත් කාගෙන් හරි අහගෙන දුනුමාලට එන්න. අල්ගමට ඇවිත් උඩුවකට  එන්නත් පුළුවන්. අල්ගමත් දිය ඇල්ලක් තියෙනවා, මේ ඒ ඇල්ල නෙමේ අපි අද මේ බලන්න යන ඇල්ල තියෙන්නෙ උඩුවක ගමේ.

මගේ ගමන කොහේ යතත් බයික් එකේ නිසා යක්කල හංදියෙන් 200ක තෙල් ගහගෙන යක්කල සිද්ධායුර්වේදෙන් කිතුල් පිටි කැඳ එකකුත් බීලම ගමන පිටත් වුණා. අත්තනගල්ලෙ රජමහා විහාරෙට පඬුරකුත් දාගෙන පන්සල පහළ පස්යාල පාරෙ තොරණ හංදියෙන් ගලපිටමඩ පාරට දාලා අලවල ගමට කිට්ටුවෙනකොට පොඩි හීතල සනීප ගතියක් දැනෙන්නෙ අපි බස්නාහිරෙන් සබරගමුවට ආවා කියලා කියන්නා වගේ. සරුසාර රබර් යායවල්, පුංචි පුංචි තේ වතු මැද්දෙන් වැටිච්ච පාරෙ පරෙස්සමින් එන්න සමහර තැන්වල පහළට තියෙන හෙළ ටිකක් භයානකයි පාරත් පටු නිසා. කතාවෙන් කතාව ඔන්න අලවල ගමත් පාස් කරලා දුනුමාලට ආවා. අත්තනගල්ල පන්සල ළඟ ඉඳලා ඇල්ල ළඟට මුළු දුර කිලෝමීටර් 14ක් විතර තියෙනවා, ගූගල් මැප් බලලා පුරුදු අයට නම් මම දුර ගණන් බල බල කියන එක එච්චරම අදාල වෙන්නෙ නෑනෙ නේද?

දුනුමාලෙන් අල්ගම පාරෙ ඇල්ල ළඟට කිලෝමීටර් 2ක් විතර ගිහිල්ලා බයික් එක නවත්තලා තව මීටර් 400ක් විතර පුංචි අඩිපාරක් දිගේ යන්නත් උණා ඇල්ලට කිට්ටු වෙන්න. ඇල්ලට බහින අඩිපාර හොයාගන්න ලේසියි අපි ආපු පාරෙ ඒ කිට්ටුවම තියෙන සිරි පැරකුම් ගිමන්හල හින්දා. ඒ සිරිපැරකුම් දැක්කම මතක් උණේ, මේ ඇල්ලට සමහරු සිරිපැරකුම් ඇල්ල කියලත් කියනවනේ සෝමරත්න දිසානායක මහත්තයගෙ සිරිපැරකුම් චිත‍්‍රපටියෙ දර්ශනවලට මේ ඇල්ල යොදාගත්ත නිසා. චිත‍්‍රපටිය හින්දා ඇල්ල බලන්න එන පිරිස වැඩි වුණා කියල තමයි ගම්මු නම් කියන්නෙ. ඇල්ල දැන් ළඟයි කියලා ජීවිතේ මහන්සිය නිවෙන එක කෙසේ වෙතත් ගම්පහ ඉඳලා ආපු ගමන් මහන්සිය නම් මට ඇල්ලට යන කඳු පල්ලම් නගින බහින අඩිපාරෙදි දැනුණා. හැබැයි ඇල්ල ඇස් ඉස්සරහ පේනකොට ගමන් මහන්සිය කොහේ ගියාද නෑ.. ඇල්ල එක්ක බැඳුණු සොබා සොඳුරු සිරියෙ පැයක් දෙකක් තනිවෙලා ජීවිතේ මහන්සිය ටිකක් නිවාගන්න හදන්නෙ මං.

ඇල්ල පේනතෙක් මානෙ තියෙන පුංචි තේ කඬේ ජයවර්ධන මහත්තයගෙ. දැනටමත් ඔයාට මහන්සි නම් ජයවර්ධන මහත්තයගෙ කඩෙන් උණු උණුවෙ පොල් රොටියක් කාලා ප්ලේන්ටියක් කාරිය බීලම ඇල්ලට කිට්ටු වෙන්න පුළුවන්. ජයවර්ධන මහත්තයට ඇල්ල ගැන කියන්න දේවල් ගොඩාක් තිබ්බා. දැනටමත් ඔයාට මහන්සි නම් ජයවර්ධන මහත්තයගෙ කඩෙන් උණු උණුවෙ පොල් රොටියක් කාලා ප්ලේන්ටියක් කාරිය බීලම ඇල්ලට කිට්ටු වෙන්න පුළුවන්.

ජයවර්ධන මහත්තයා දවස පටන් ගන්නෙ උදේම ඇල්ල අහල පහළ සුද්ධ පවිත‍්‍ර කරලා දාලා, හරි භක්තියෙන් ආදරෙන් ජීවත්වෙන්න උදව් කරන ඇල්ලට මහා ගෞරවයකින්. ජයවර්ධන මහත්තයා කියන විදිහට ඇල්ලට කන්න බොන්න එන උදවිය වැඩිදෙනෙක් කාපු බීපු තැන් වනසලා බත් කොළ බෝතල් ඉතුරු බිතුරු ඔක්කොම ඇල්ල පාමුළ දාලා යනවා. ඒ කතාවෙ ඇත්ත නැත්ත මේ ලියන මාත් හොඳටම දැක්කා ඔයාටත් ආවාම පෙනෙයි අපේ අය එච්චරටම හිත්පිත් නැතුව කොහොමද මේ ලස්සන පරිසරේ වනසන්නෙ කියලා හිතෙයි. තහනම් බෝඞ්, එපා කියලා ඉල්ලීම් කරපු බෝඞ් කොච්චරක් වටේ ගහලා තිබ්බත් විනාශෙ නම් අඩුවක් නෑ කියලයි ගම්මු කියන්නෙ. ජාතියේ අවාසනාව!

මේ ඇල්ලට නම් ගොඩාක් තිබ්බත් උඩුවක ඇල්ල කියන නම තමයි හරි කියලා ජයවර්ධන මහත්තයා කිව්වෙ ඇල්ල ඇදහැලෙන්නෙ උඩුවක ගමට නිසා. ඇල්ලෙ උඩ කොටස අයිති දුනුමාල ගමට නිසා කට්ටියක් දුනුමාල ඇල්ල කියලා කිව්වත් උඩුවක ඇල්ල කියන එක වඩා සාධාරණයි කියලා හිතෙන්නෙ ඇල්ලෙ වැඩි කොටසක් උඩුවක පැත්තෙ තියෙන නිසා. ගල් තලා තුනකින් බිමට ඇද හැලෙන උඩුවක ඇල්ලේ සම්පූර්ණ උස අඩි 40ක් විතර වෙනවා ඇල්ලටම ඔළුව අල්ලගෙන නාගන්න පුළුවන් වතුර ටිකක් අඩු කාලෙට. ඇල්ල පාමුල තියෙන පුංචි ගල් වල අඩි 4 - 5 ක් විතර ගැඹුරක් තියෙන හින්දා ඒ තරමට වඩා ටිකක් උස  ඕනෙම කෙනෙකුට පරිස්සමට නා ගන්න පුළුවන්. ඇල්ලෙන් ගලාගෙන යන වතුර පාරෙත් තැන තැන කාටත් නාන්න පුළුවන් පරෙස්සම් තැන් බොහොමයි. වතුරෙ තියෙන ගල් වලේ දිය සෙවෙළ, කාපු බීපු සමහරු බෝතල් කුඩු කරල දාල තියෙනවා වෙන්න පුළුවන් ඒ නිසා කවුරුත් පරෙස්සමට නාගන්න එක ඇඟට ගුණයි. සාමාන්‍යයෙන් දිය ඇල්ලක ලස්සන බලන්න වෙන්නෙ බිම ඉඳගෙනනෙ. හැබැයි දුනුමාල දිය ඇල්ලේ ඉහළට හරිම ලේසියෙන් නගින්න පුළුවන්. ඉහළ ඉඳලා පහළ බලන්නත් පුළුවන්, පහළ ඉඳලා ඉහළ බලන්නත් පුළුවන් මේ අපූරු දිය ඇල්ලේ උඩට නගින්නම කියලා මගෙ හිත කිව්වත් තට්ට තනියම ගිය ගමනක් නිසා පරෙස්සම ගැන හිතලා ආසාව පැත්තකින් තිබ්බා.       

පරිසරයට අහල පහල අයට කරදරයක් නොකරනවා නම් උඩුවක ඇල්ල පේ‍්‍රම කරන අයට මල් යායක්, පවුලේ විනෝදෙට සතුටු සාගරයක්, කාලා බීලා පොඩි බජව්වක් දාන අයට රස ගුලාවක්. පරෙස්සමට උඩුවක ඇල්ලෙ නාලා සතුටු වෙලා පා සටහන් විතරක් ඉතුරු කරලා එන්නත් අමතක කරන්න එපා!

 මම රිවිර පත්තරේට freelance ලියපු ලිපියක්. ෆොටෝ එක්ක බලන්න මෙතනින්..


අලුත් සංචාරක සටහන් සන්රස වෙතින් ඉදිරියේදී බලාපොරොත්තු වන්න..


No comments:

Post a Comment