Saturday, June 2, 2018

ශිව දෙවි තෙදබල සපිරි "කෝනේෂ්වරම් කෝවිල"

ඕම් නමඃ ශිවාය!

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ තියෙන දිස්ත්‍රික්ක තුනෙන් ප්‍රධානම දිස්ත්‍රක්කය "ත්‍රිකුණාමලය" දිස්ත්‍රික්කයයි. ඒ නිසාම නැගෙනහිර පළාතේ පරිපාලන දිස්ත්‍රික්කය විදිහට කැපී පෙනෙන්නෙත් "ත්‍රිකුණාමලය"යි. අපේ රටේ ඉස්සෙල්ලාම හිරු උදා වෙන්නෙ හිරු ත්‍රිකුණාමලයට. මුළු ලෝකයේම අවධානය දිනාගත්තු "දකුණු ආසියාවේ විශාලතම ස්වභාවික වරාය" ‍තියෙන්නෙත් ත්‍රිකුණාමලයේ. නිලාවේලි මුහුදු තීරය හා පරෙවි දූපත, කින්නියා උණු දිය උල්පත් ළිං වගේ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගත්තු තැන් බොහෝමයක් ත්‍රිකුණාමලයේ තිබෙනවා. මං මේ කියන්න හදන්නෙ ඒ එකක් ගැනවත් නෙමෙයි. ත්‍රිකුණාමලයේ ශිව දෙවියන් හට කැපවූ කෝනෙෂ්වරම් කෝවිල ගැනයි. පහුගියදාක මං තට්ට තනියම ත්‍රිකුණාමලේ ගියෙත් මේ පුදබිම දැක වැඳ පුදා ගන්න. "ශිව දෙවිඳුන්"ගේ ආශිර්වාදයෙන් මගේ ජීවිතේට ආධ්‍යාත්මික ආලෝකයක් ලබාගන්න. 

පෙර ගමන්

"ඊෂ්වරම්" ප්‍රත්‍යය අගට එක්ව සෑදුනු නම් ඇති, අපේ රටේ ඊශ්වර හෙවත් ශිව දෙවියන් උදෙසා වෙන්වූ සිද්ධස්ථාන 5 ක් ගැන හින්දු ආගමික ඉතිහාසයේ සඳහන් වෙනවා (පංච ඊෂ්වරම්). රාවණා රජතුමා තැනවූ ත්‍රිකුණාමලයේ "කෝනේෂ්වරම්", රාවණා රජතුමාගේ මාමණ්ඩිය වන "මායා" විසින් තැනවූ මන්නාරමේ තැනවූ "තිරුකේතීස්වරම්", හලාවත "මුන්නේස්වරම්" කෝවිල හා යාපනයේ "නගුලේස්වරම්" හා මාතර "තොන්ඩීෂ්වරම්" තමයි ඒ කෝවිල්. මාතොට හෙවත් මාතර "තොන්ඩීෂ්වරම්" කෝවිල අද එතැන නෑ (එතැන දැන් තියෙන්නෙ ඔබ කවුරුත් දන්නා "දෙවිනුවර උපුල්වන් දේවාලය"යි.) 

පංච ඊශ්වරම් පුදබිම්
තිරුකෝනේෂ්වරම් හෝ කෝනේෂ්වරම් යන නම් වලින් හැඳින්වෙන, මම වැඳ පුදාගත්තු, ඔබට තොරතුරු කියන්න හදන මේ කෝවිල ශිව දෙවියන් උදෙසා ලොව පුරා ඉදිවෙලා තියෙන පුදබිම් අතරින් වඩාත්ම බලවත් කෝවිල බව හින්දු බැතිමතුන් විශ්වාස කරනවා. ශිව දෙවිඳුන්, පාර්වතී දේවතාවිය වැඩ සිටි, කුඩා කාලයේ ගණදෙවියෝ හා මුරුගන් (කතරගම දෙවියෝ) ඇතුළු දේව කුමාරවරු මෙහි කෙළි සෙල්ලම් කළ පින් බිමක් යැයි ඔවුන් තරයේ අදහනවා. කෝනේශ්වරම් කෝවිල තියෙන කඳුගැටය (ස්වාමි කන්ද) ගැන කියැවෙන ජනප්‍රවාදයකට අනුව අතීතයේ දෙවියන් අතර හටගත්තු ගැටුමක ප්‍රතිඵලයක් විදිහට දෙවියන් වැඩ විසූ රන් කන්දෙන් කොටසක් කැඩිලා වැටුනු  කෑල්ල තමයි මේ කඳුගැටය. 

රාවණා රජ්ජුරුවෝ එකල ඍෂිවරු, මුනිවරු වගේ භාවනායෝගීන් ජීවත්වුණු "ගෝකණ්ණාශ‍්‍රමය" භූමියේදී (වර්තමාන කෝනේෂ්වරම් කෝවිල තියෙන තැන) ශිව දෙවියන් උදෙසා දැඩි ව‍්‍රතයක් සමාදන් වූ බව ජනවහරේ සඳහන් වෙනවා. රාවණා රජ්ජුරුවෝ ශිව දෙවියන්ටයි උන්වහන්සේගේ බිරිඳ වූ පාර්වතී දේවියටයි වන්දනාමාන කළේ, ගරු සරු දැක්වූයේ තමන්ගේම අම්මයි තාත්තයි විදියට සලකලා. රාවණා රජ්ජුරුවෝ තමන්ගේ පිතෘවරයා විදියට සලකන ශිව දෙවියන්ගෙන් "අමරණීයත්වයට පත් වීමට" වරමක් ඉල්ලුවා. "ඔබ කිසිවකුත් අතින් නොමැරිය යුතු කෙනෙක්" යැයි එදා රාවණ රජ්ජුරුවන්ට ශිව දෙවිඳුන් වරම් දුන්නේ මේ කෝනේෂ්වරම් පිංබිමේදී. මහා රාවණ රජ්ජුරුවෝ මේ භූමියේදී යෝග ධර්ම වඩද්දී විශ්වයෙන් ලැබුණු ශබ්ද තරංගයක් අනුව, ශිව දෙවියන්හට නමස්කාර කරන මහා බලවත් "ශිව තාණ්ඩව ස්ත්‍රෝත‍්‍රය" නිර්මාණය කරන්නටත් යෙදුනා.  

ශිව-පාර්වතී දේව ශක්තියත්, රාවණා රජුගේ ආධ්‍යාත්මික ශක්තියත් මේ බිමේ ගැබ්ව පවතින නිසා මේ පිං බිම මහා අනුහස් ඇති බිමක්. 
  
මේක මං ලියපු පරණ සංචාරක සටහනක්, ඉතුරු ටිකයි ඔක්කොමයි සම්පූර්ණයෙන්ම ෆොටෝ එක්කම තියෙනවා මගෙ  පුද්ගලික බ්ලොග් අඩවියේ, කියවන්න මෙතැනින්. 

අලුත් සංචාරක සටහන් සන්රස වෙතින් ඉදිරියේදී බලාපොරොත්තු වන්න..




No comments:

Post a Comment