Monday, June 18, 2018

ජ්‍යොතිෂ්‍යට ගරහන්නෙ උගත් මෝඩයො

"පලාපල ඇහුවොත් ඔලුව අවුල් වෙනවා", "ජ්‍යොතිෂ්‍ය කියන්නෙ බොරුවක්", "ඔව්වා විකාර" කිය කියා විවේචනය කරන අලුත් සමාජෙ තාක්ෂණේ දියුණුවෙන් උදම් වෙච්ච අපේ සිංහල බෞද්ධ හුඟක් දෙනෙක්ට ඒ ගොල්ලන්ගෙ අම්ම තාත්තලා හදෝපු කේන්දරයක් තියෙනවා. ඒ කේන්දරේ හරි උපන් වෙලාවට අනුව හැදුව නම් ඒ ගොල්ලො ලොකු උනාම එහෙම කෑගහනවා කියලත් හොයාගන්න අමාරු නෑ දක්ෂ ජ්‍යොතිර්වේදියෙකුට. ළමයෙක් උපන්න තැන ඉඳල කසාද බඳිනකල්, බැඳපු උන්ට ළමයි හම්බෙද්දි නමක් දාන්න, මළාට පස්සෙත්, ඒ විතරක් යැ සම්බුද්ධ ශාසනේ පොහොය කර්ම කරන්නත් ජ්‍යොතිෂ්‍ය පාවිච්චි කරන රටක ටික දෙනෙක්ගෙ මේ පිස්සුව හොඳටම එළියට එන්නෙ ෆේස්බුක් ආවාම, බ්ලොග් ලෝකෙ අදහස් හැප්පෙන වෙලාවල් වලට. උන් කියන ප්‍රධානම දේ තමා දියුණු රටවල් මෙව්ව කරන්නෙ නෑලු, අපි තාම නොදියුණුයි ලු. ඒ ඉතින් උන් දන්න තරම තමා. නාසා ආයතනේ අහසට රොකට් එකක් යවන්නත් ජ්‍යොතිර්වේදීන්ගෙන් නැකැත් වෙලාවල් බලලා කියලා මේ ගොල්ලො දන්නෙ නෑ. චීනෙ දියුණුව පිටිපස්සෙ ෆෙන්ග්ෂුයි කියන විශ්ව ශක්තිය කළමනාකරණය කරන ගුප්ත ශාස්ත්‍රේ තිබ්බා කියලා මුන් විශ්වාස කරන්නෑ, ජපානෙ දියුණුව පිටිපස්සෙ ජපානෙටම ආවේණික ආධ්‍යාත්මික හැදියාවක් තියෙනව කියල තාක්ෂණේ දියුණුවෙන් උදම් වෙලා ඉන්න මේ උගත් ගොබ්බයො තේරුම් ගන්නෙ නෑ. අදටත් අපිට වඩා අඩියක් හරි ඉස්සරහින් ඉන්දියාව දියුණුවෙලා ආසියාවෙ බලවත් රටක් වෙලා ඉන්නත් ඉන්දියාවෙ තියෙන මහා ආධ්‍යාත්මික බලය පාලකයන්ගෙ ඉඳලා මහජනතාව දක්වා පාවිච්චි කරන බව අපේ හැත්ත තේරුම් ගත්ත දාට ඉන්දියාවට බැන බැන ඉන්න එක නවත්තල අපේ රටත් මේ තියෙන තැනින් අඩියක් ඉස්සරහට ගන්න මහන්සි වේවි.



ජ්‍යොතිෂ්‍ය කියන්නෙ ආධ්‍යාත්මයත් ලෞකිකත්වයත් එකමුතු කරන රන් හුයක්, අනාගතේ දකින්න දිවැස් නැති සාමාන්‍ය පෘතග්ජනයන්ට ඉස්සරහ ජීවිතේ සැලසුම් කරගන්න පාර පෙන්නන පහන් කණුවක් කියල බටහිර මිනිස්සු තේරුම් අරං ඉවරයි. බටහිර මිනිස්සු මේවා බැහැර කරලා දියුණු උනා කියලා කයිය කෙළින උගත් මෝඩයෝ දන්නෙ නෑ එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඇමරිකාව වගේ රටවල්වල් ලෝකයේ සියළු ජ්‍යොතිෂ්‍ය ක්‍රමවේද අධ්‍යනය කරන්න මහා පර්යේෂණ අදටත් කරන බව, ඒවගෙ සාර්ථක ප්‍රතිඵල ඒ රටවල්වල දේවල් දියුණු කරන්න යොදාගන්න බව, පෙරදිග මහා ආධ්‍යාත්මික දැනුම බටහිර ස්වරූපයෙන් ආයෙ පෙරදිගට මාකට් කරන බව.




බුදු හාමුදුරුවො ජ්‍යොතිෂ්‍ය කියලා එකක් දේශනා කලේ නෑ තමයි, නැකැත් බලන්න එපා කිව්වා තමයි, නිවන් දැකීමට උත්සාහ කරන අය නොසෙවිය යුතු ශාස්ත්‍රයක් කියලා අනුදැන වදාළා තමයි.. ඒ ලෝකයේ සියළු බැඳීම්වලින් නිදහස් වෙලා නිවන් දකින්න උත්සාහ කරන අයට මිසක් බැඳීම් ගොඩක බැඳිලා කාලා බීලා සැපේ ඉන්න දඟලන දෙව් මිනිස් සැප කෙළවර නිවන් පතන එදිනෙදා ජීවිතේ ජීවත් කරවන්න මහන්සිවෙන සාමාන්‍ය මිනිස්සුන්ට නෙමේ. ජ්‍යොතිෂ්‍ය නිර්මාණය උනේ මිනිස්සුන්ගෙ ලෞකික ජීවිත සැපවත් කරන්න පාර පෙන්නන්න මිසක් මිනිස්සු සසරෙන් එතෙර කරන්න නෙමේ. අනික ජ්‍යොතිෂ්‍ය බුදු දහමට වත් කිසිම ආගමකට දහමකට අයිති දෙයක් නෙමේ, ඉන්දියානුවන් ඇසුරේ හැදුනු වෛදික ජ්‍යොතිෂ්‍යට ඉන්දියානු දේව විශ්වාස කලවම් උනා, චීනෙ ජ්‍යොතිෂ්‍යට චීනෙ ආගමික / සංස්කෘතික ලක්ෂණ කලවම් උනා / බටහිර ජ්‍යොතිෂ්‍යයට බටහිර සංකල්ප කලවම් උනා. ඕනෑම ජ්‍යොතිෂ ක්‍රමේක අරමුණ මිනිස්සුන්ට අනාගතේ පෙන්නලා දීලා ඉස්සරහ සැලසුම් කරගන්න පාර පෙන්නන එක. මොළයක් කියලා නාමයක් තියෙන මිනිහෙක් නම් කරන්නෙ, ඒ පෙන්වල දෙන මග සලකුණු දිගේ තමන්ගෙ අඩුපාඩු වැරදි හදාගෙන කල්පනාවෙන් ගිහිල්ලා තමන් දන්න දේ තමන්ගෙ ලඟ තියෙන දෙයින් අනාගත ජීවිතේ සැපවත් කරගන්න එක මිසක් ජ්‍යොතිෂ්‍යටවත් වෙන කෙහෙම්මලකටවත් බැන බැන චෝදනා කර කර ඉන්න එක නෙමේ. ජ්‍යොතිෂ්‍යට ගරහන සිංහල බෞද්ධ උගත් මෝඩයො ඉස්සෙල්ලම කරන්න ඕනෑ නිර්වාණ මාර්ගයට පිවිසෙන එක, එහෙම නැතුව සිංහල බෞද්ධ කිය කියා ෆේස්බුක් එකේ ඩෙඟා නටන එක නෙමේ, උන්ට තරම් උගත්කමක් නැති අහිංසක අසරණ මිනිහෙක්ගෙත් ඔළුව අවුල් කරලා ජ්‍යොතිෂ උපදෙසක් එක්ක හරි උන් අඩියක් උඩට එන්න හදන එකට වළ කපන්නැතුව ඉන්න එකයි මනුස්සකම.




සිංහලයට කෙළවෙලා ඉවරයි! ඒක අද ඊයෙ වෙච්ච දෙයක් නෙමේ, සුද්ද ආපු දා ඉඳලා වෙන දෙයක්. පන්සලයි - පිරිවෙනයි එක්ක බැඳුනු සමාජ රටාව තමා සිංහලයගෙ ශක්තිය, බලය උනේ. අපේ පිරිවෙන්වල ජ්‍යොතිෂ්‍ය විශයක් විදිහට ඉගැන්නුවා අතීතෙ. ඒ කාලෙ ගමේ පන්සලේ / පිරිවෙනේ හාමුදුරුවො ඉස්සෙල්ලම ගමේ මිනිහගෙ හිතේ ප්‍රශ්න විසඳල තමා බණ කිව්වෙ. ගමේ ළමයෙක් උපන්නාම ලොකු හාමුදුරුවො වේලා පත්කඩේ හදලා දුන්නා. ලොකු මහත් වෙච්ච ළමයා පන්සලට ආවා ලියන්න කියවන්න ඉගෙන ගන්න. ගමේ මනුස්සයෙක්ගෙ කරදරේකදි ගමේ පන්සලේ හාමුදුරුවො මූලික වෙලා ඒ මනුස්සයට පිහිට උනා. අද අපේ ගොඩාක් හාමුදුරුවරු වගේ බණ කිය කිය විතරක් ඉන්නැතුව එදාවේල කාලා ජීවත් වෙච්ච මිනිස්සුන්ගෙ එදිනෙදා ජීවිතේ ජීවත් වෙන්න ඒ කාලෙ ගමේ පන්සලේ හාමුදුරුවො මැදිහත් වෙලා උදව්පදව් කළා. මිනිස්සු සුවපත් කරන්න උන්නාන්සේලා #වෙදකම පාවිච්චි කළා, පෘතග්ජන මිනිස්සුන්ගෙ කර්ම විපාක පෙන්නලා දීල අනාගත ජීවිතේ සැලසුම් කරගන්න උන්නාන්සේලා #ජ්‍යොතිෂ්‍ය උපයෝගී කරගත්ත ගමේ අහිංසක මිනිස්සුන්ට දැනෙන විදිහට ශාන්තිකර්ම පාවිච්චි කරලා හිත් හයිය කරන්න මහන්සි උනා, එහෙම හිත හැදිච්ච මිනිස්සුන්ට #බණ කිව්වා. ඒ මිනිස්සු බණ ඇහුවා, ඒ අනුව ජීවත් උනා. ඒ කාලෙ අපේ මිනිස්සුන්ට පන්සල ජීවිතේ total solution එක උනා. ඒ නිසා මිනිස්සු පන්සල එක්ක සහයෝගෙන් ජීවත් උනා. සුද්දා තේරුම් ගත්තා පන්සල එක්ක ඉන්නකල් සිංහලයට කෙළින්න බෑ මේ රට උන්ට ඕනැ හැටියට කරන් යන්න බෑ කියලා, ඒ හින්දා පන්සල් / පිරිවෙන් මුල් වෙච්ච අධ්‍යාපන ක්‍රමය මිෂනාරි අධ්‍යාපන ක්‍රමය කළා, කේන්දර බැලිල්ල, බලි තොවිල් ශාන්ති කර්ම මෝඩයන්ගෙ මෝඩ වැඩ කියලා ප්‍රබල ජනමතයක් ගොඩ නැගුවා, අපේ උන් ඒ ඇම කෑවා. බුදුදහම අත ඇරලා ක්‍රිස්තියානි / කතෝලික වෙච්ච සිංහලයො රට විභාග පාස් වෙලා හොඳට ඉගෙන ගෙන දියුණු වෙලා අර සුද්දගෙ මතේ අපේ රට පුරා අරං ගියා. තාමත් ඒ මුතුන්මිත්තන්ගෙ ලේ තියෙන උන් ඒ ගැනම කිය කියා ගම්වල මිනිස්සුන්ගෙ ඔළු අවුල් කරනවා.




ජ්‍යොතිෂ්‍ය කියන්නෙ ගුප්ත විද්‍යාවක් නෙමේ, අහසෙ තරු රටා මත පදනම් වෙලා, ගණනය කිරීම් එක්ක විශ්ව ශක්තිය පොළොවෙ ජීවත් වෙන මිනිස්සුන්ට බලපාන හැටි විග්‍රහ කරන පාර භෞතික විද්‍යාවක් කියලයි හින්දුත් නොවන බෞද්ධත් නොවන බටහිර පර්යේෂකයො හඳුන්වන්නෙ. ඒ අය පොත්පත්, ජ්‍යොතිෂ්‍ය ලිත් දාස් ගණනාවක් එළි දක්වල තියෙනවා ඒ සම්බන්ධයෙන්. ඒ තියෙද්දිත් නෙ අපේ උගත් මෝඩයො ජ්‍යොතිෂ්‍යට ගරහන්නෙ. ජ්‍යොතිෂ්‍ය සිංහල අපේ වැරදි හදන් ඉස්සරහට යන්න තියෙන හොඳ ආයුධයක්. භෞතික සංවර්ධනයේ ඉහළට ගිය බටහිර මිනිස්සු භෞතික දියුණුවේ සීමාවන් නුවණින් දැක හඳුනාගෙන ආධ්‍යාත්මික සංවර්ධනය හොයාගෙන පෙරදිග මහා දැනුමට ළං වෙන එක සාමාන්‍ය දෙයක්. අපේ රටවල් තාම එහෙමට දියුණුවක් නැති හින්දා වෙන්නැති අපේ අයට අපි ළඟ තියෙන ආධ්‍යාත්මික වටිනාකම්වල ඒතරම් අගයක් නොදැනෙන්නෙ. මෙව්ව ගැන මෙහෙම බ්ලොග් ලියලා මහන්සි වෙලා කිසි තේරුමක් නෑ මං මේ රටේ මහා සිවිල් බලයක් තියෙන ජනමත නායකයෙක් නොවෙන හින්දා, ඒත් මේ ලියපු ඩිංග කියවලා අලුත් පරම්පරාවෙ එකෙක් හරි ජ්‍යොතිෂ්‍යයේ වටිනාකම තේරුම් අරන් ජ්‍යොතිෂ්‍යයෙන් තමන්ගෙ ජීවිතේට ආලෝකයක් උදාකරගත්තොත් ඒ පින මගෙ යහපත වෙනුවෙන් අනුමෝදන් වේවා!

Tuesday, June 12, 2018

පූසන්ගෙ පිස්සු වැඩ




ගෙදර පූසා කනබොන එකයි බඩ පැලෙන්න කාලා කොහෙ හරි පතබෑවිලා දොයියන එක ඇරෙන්න තව මොනවද කරන්නෙ? මීයො අල්ලනවද? නැත්තං වත්තට මිදුලට එන අහිංසක සත්තුන්ට වැඩේ දෙනවද? පූසට අයිති පූස් රාජකාරි හරියට කරන පූසෙක් ඉතින් ගෙදරට අනේ වාසනාවන්! හාද?

ඔයගොල්ලෑ පූසා එක එක ජාතියෙ අමුතු පිස්සු කෙලිනව නේද සමහර වෙලාවට. උන් එහෙම කරන්නෙ කියලා මොකෝ ඇහුවට කියනවයැ නේද, කිව්වට තේරෙනවයැ අපිට නේද? අද අපි කියන්න හදන්නෙ පිස්සු පූස් වැඩ කීපයක් ගැන.

1. ඇස් ඔරෝගෙන බලන කැත



ඔයාලෑ පූසා ඇස් ලොකු කරලා, ඔරෝගෙන ඔයාලැ දිහෑ බලාගත්තු අතේ බලං ඉන්නව දැකලා තියෙනවද කොයි වෙලාවක හරි? නෑ නෑ පූසට ඔයා එක්ක මළ පැනලා නෙමේ ඒ, ඒ පූසට ඔයාගෙ අවධානෙ යොමුකරගන්න හදන්නෙ පොඩ්ඩක් හුරතල් වෙන්න ඉතින්. ඌ පූස් මායමක් කියලා තමා සත්ව හැසිරීම් විශේෂඥ මහත්තුරු කියන්නෙ.


2. රෑට විකාරේ



දවල් තිස්සෙ කාලා කාලා බුදියලා රෑ තිස්සෙ ගේ එක දෙක කරන පූස වෙලාවකට මළ වදේ නේද? කරන්න දෙයක් නෑ ඒ පූසගෙ පූස් ගතිය, පූසන්ට උන්ගෙ මුතුන්මිත්තන්ගෙන් උරුම වෙච්ච රෑ දඩයම් පුරුද්ද නිසා කියලයි ඒ ගැන පර්යේෂණ පවත්වපු මහත්තුරු කියන්නෙ. ඔය මහත්තුරු නම් කියන්නෙ දවල්ට පූසා ඇහැරෝලා තියාගත්තොත් රෑට සැනසිල්ලෙ නිදාගන්න පුළුවන් කියලා. මොකෝ දවල්ට අපිට වෙන වැඩ නැතුවටයැ පූසො ඇහැරෝලා තියාගන්න නේද? රෑට වද දෙන පූසෙක් ඉන්නව නම් දවල්ට ඌට හෝම් වර්ක් දෙන්න, අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි පූසා රෑට දොයි!


3. කුක්කු කූක් කූට කලින් ඤාව් ඤාව්



කුකුලත් අතින් අරන් කියලා කියමනක් තියෙනවනෙ උදේ පාන්දර කවුරු හරි ආවොත් නේද? කුකුලා හඬලන්නත් කලින් ඇහැරෙන ජාතියක් තමා පූසො කියන්නෙ, ඇයි රෑ තිස්සෙ නිදාගන්නෙත් නෑනෙ. චූටි කුරුල්ලො, ලේන්නු සත්තු එළි බහින වෙලාවනෙ දඩයමක් කොටාගන්න පූස් මුතුන් මිත්තො එළි බැස්ස වෙලාවනෙ ආරේ ගති නෑරේ කියලා දැන් හැදෙන එකාලත් ඇහැරගෙන. උදේ එලාම් එකට කලින් ඇහැරෙන්න ආදරෙන් පූසෙක් හදන්න කියලා තමා සුදු මහත්තුරු කියන්නෙ.

4. නියපොතු විලිස්සා පොඩි තට්ටුවක් (Knead)



පැටියෙක් නම් පූස් අම්මගෙ ඇඟේ සමහර වෙලාවට මසාජ් කරනව වගේ එකක් කරනවා, ලොකු එකෙක් නම් තණකොල ගොල්ලෙ / රෙදි කෑල්ලක් ගෝනියක් / සැපපහසු පුටුවක් උඩ නැත්තං ඔයාගෙ ඔඩොක්කුවෙදි නේද? පූසො එහෙම කරන්නෙ උගෙ අයිතිය ප්‍රකාශ කිරීමක් / සීමාව ලකුණු කිරීමක් / ආදරේ පෙන්නිල්ලට ලු නෙ.


5. දකින දකින දේ පහුරු ගානවා



බයික් එකේ සීට් එක ගන්න දෙයක් නෑ පූසා පහුරු ගාලා. කුෂන් පුටුවට පූසා ලං වෙනකොට අම්මගෙ සද්දෙ අල්ලපු ගෙටත් ඇහෙනවා. ඇත්තටම පූසො ඇයි පහුරු ගාන්නෙ? පූසගෙ නියපොතුවල සෞඛ්‍ය තත්ත්වෙ ආරක්ෂා කරගන්නලු නෙ ඒ. අපි වගේ නියපොතු කපන්න නේල් කටර් බ්ලේඩ් තල ඕනෑ එකක් යැ කොහෙ හරි පහුරුගෑවාම ඔක්කොම හරි.


6. වැටිච්ච වැටිච්ච තැන පතබෑවිලා දොයි



පූසො හිතිච්ච තැන්වල වැටිච්ච තැන්වල දොයියනවා නේද? උගෙ පූස් මනසට ආරක්ෂිතයි කියලා හිතෙන තැනලු නෙ ඌ විවේක ගන්න තෝරගන්න එකලුනෙ ඒකට හේතුව. හිත ගිය තැන මාලිගාව කියන්නෙත් ඒ වගේ එකකට වෙන්න ඇති නේද?

ලිප් බොක්කෙ දොයියන්නෙ ආරක්ෂිත හින්ද නෙමේ ඤාව්! (අපේ පූසා)

ආ සොරි ඈ.. ලිප් බොක්කෙ දොයියන්නෙ පූසො උණුසුම් තැන්වල ඉන්න කැමති හින්දා. රත් වෙච්ච ලැප්ටොප් උඩට නගින්නෙ, ඉස්සර පරණ ලොකු ටීවී උඩ ලැග්ගෙත් අන්නේකයි. හාද?

ඤාව්! (අපේ පූසා)


7. පූස් විසේ



හිටපු ගමන් කිසි බාහිර බලපෑමක් නැතුව පූසො එක පාරටම හෙණ ගහලා වගේ දුවනවා, උඩ පනිනව නේද? බකල් ගහ ගහ ඇවිදින්න පුරුදු වෙන පූස් පැටව් පවා හිටපු ගමන් යක්කු වගේ උඩ නගිනව පනිනවා දැකල තියෙනවද? පූසො එහෙම කරන්නෙ පූසන්ගෙ ඇඟේ වැඩිවෙච්ච අමතර ශක්තිය පිට කරලා ඇඟේ ශක්ති මට්ටම සාමාන්‍ය අගයකට ගේන්නලු නෙ.


8. උඩුබැලි වෙලා බඩ උඩ දාලා



පූසො උඩුබැලි අතට පෙරලිලා බඩ උඩ දාගෙන විලි ලැජ්ජා නෑ වගේ ඉන්නව නේද?  පූසො එහෙම පෙරළිලා ඉන්නෙ සාමකාමී හැඟීමකින් සැනසිල්ලෙ නිදහසේ ඉන්නකොටලු.  කාලා කාලා බඩ පිරිලා ඉද්දි බඩේ ඉඩ හදාගන්නත් පූසො එහෙම දිගෑදෙනවාලුනෙ.


9. නාන්න හොර පූසා

පූසෙක් නාවන්න හදනකොට මරන්න ගෙනියනවා වගේ මැරෙන්න හදනව නෙ. පූසො වතුරට තෙතමනේට කැමති නෑ. ඒකට හේතුව අවුරුදු දාස් ගාණක් තිස්සේ පූසො මිනිස්සු අස්සෙ ගෙවල් අස්සෙ උණුහුමට හැදිච්ච හින්දාලුනෙ. පූස් මයිල් ඇඳුම තෙමුණාම වේල ගන්න අමාරුයි, එක පූසන්ට කරදරයක්. ස්වභාවෙන්ම පූස් කෙල හැදිලා තියෙන්නෙ පූසට තනියම නාගෙන පිරිසිදුවට ඉන්න ගැලපෙන රසායනික සංයෝගෙකින්ලු නෙ. කන්න බොන්න විතරක් නෙමේ පූස් දිව නාන්නත් ගැලපෙන විදිහට හැදිලා තියෙන්නෙ. අපි කුණු අතුල්ල ගන්නව වගේ පූසො නියපොතුවලින් ඒ දේ කරගන්නවලු නෙ. වැඩිපුර පිරිසිදු වතුර බොන්න දෙනව නම් පූසෙක්ව නාවන්න දස වද විඳින්න ඕනැ නෑ පූසම නාගන්නවා කියලා තමා බටහිර පර්යේෂණ හොයාගෙන තියෙන්නෙ. සුද්දො කිව්වයි කියලා යකෝ ගෙයි හැමතැනම ලගින පූසව නාවන්නැතුව කොහොමද නේද උගෙ ගඳ ඌට ගඳ නැති උණාට අපිට ගඳයි නෙ නේද?


10. දඩයමක් අරං ගෙට රිංගන එකනෙ ඉවසන්න බැරි



මීයෙක් හරි, අහිංසක ලේන් පැටියෙක් හරි කටින් අරං පූසා මොන මගුලකට ගේ අස්සට දුවං එනවද කියල හිතෙනව නේද, යකා නගිනව නේද පූසා එක්ක? පූසන්ගෙ මුතුන්මිත්තො එහෙම දඩයම් ගෙනල්ලා හංගල තියන් කෑවෙ දැන් හැදෙන එකාලට වගේ තුන් වේලටඉල්ලන ඉල්ලන සැරේට කන්න බොන්න දෙන්න හාම්පුත්තු නැති හින්දනෙ. දැන් හැදෙන පූසො දන්නවා උන්ට කෑම බීම ටික වෙලාවට හාම්පුතා දෙනවා කියලා. එහෙනං මොන මඟුලකටද පූසො දඩයම් උස්සං ගෙට එන්නෙ? ඒකට හේතුව පූසා ඔයාලගෙන් ලකුණු දාගන්න හදන එකලු. පූස් රාජකාරි හරියට කලා කියලා ඔයාලට පේන්න දඩයම එහෙට මෙහෙට අරන් ගිහිල්ලා කාල දාන්නලු දැන් හැදෙන පූසො කැමති කියලා පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. පූසො ඒකෙන් ස්වාමියට ණය නෑ කියලා පෙන්නනවලු. යකාගෙ පූසො නේද ඈ?

පූස් පිස්සු වැඩ ගැන කතාව හොඳ නම් යාළුවො එක්ක බෙදා ගන්න,
අවුල් නම් මට කියන්න.
වීඩියෝ වැඩසටහන් බලන්න සන්රස අපේ 
චැනල් එකත් මෙතනින් ගිහිල්ලා  subscribe කරලා සහයෝගයක් දෙන්න හාද?

Saturday, June 9, 2018

හිතේ දුකට ගින්දරෙන් විසඳුමක් - වාසනා දාහ තන්ත්‍ර


හිත හරි පුදුම තැනක්.. හිතට එක මොහොතකට එන අදහස් කන්දරාව.. ඒ හිත කැඩෙන, තැලෙන, පොඩිවෙන වාර අනන්තයි ජීවිතේ.. හිතට වද දෙන ප්‍රශ්නයක් හිතේ සින්නක්කර අයිතියට පදිංචි වෙච්චාම කෝ අපිට හිතේ සැනසිල්ලක්?

හිතේ දුකට සමහරු බොනවා, ඔළුව හැරිච්ච අතේ යනවා, එක එක විකාර වැඩ කරනවා.. ඉවසන්නම බැරි උනාම සමහරු සියදිවි හානි කරගන්නවා, දරාගන්න බැරි උනාම සමහරුන්ගෙ ඔළුව විකල් වෙලා පිස්සො වෙනවා.

හිතට වද දෙන ප්‍රශ්නෙකින් ගැලවෙන්න විධි ගොඩක් තියෙනවා, අද මං කියන්න යන මේ විදිහ අසැල්වැසි ඉන්දියාවෙ පුරාණ වෛදික ඥාණ සම්භාරයෙන් තෝරගත්ත එකක්. "වාසනා දාහ තන්ත්‍ර"

නම "වාසනා" උනාට "ලකී" උනට අවාසනාව, අන්ලකී කරපින්නාගත්ත උන් කොච්චරක් නම් ඉන්නවද, අතට ගත්ත දේ කටට දාගන්නත් වාසනාවක් තියෙන්න එපායැ කියල කිව්වට අපි මේ කියන වාසනා ඒ වාසනාලට අයිති නෑ. "වාසනා දාහ තන්ත්‍ර" එකේ වාසනා කියන එකේ සංස්කෘත තේරුම "වර්තමානයට බලපාන අතීත අත්දැකීම් / හැඟීම් / පුරුදු" කියන එක. "දාහ" ඉතින් දන්නවනෙ "දහනය / දැවෙන / පිච්චෙන" කියන තේරුම. "තන්ත්‍ර" කියන්නෙ ක්‍රමවේදයක් කියන එක. තේරෙනව නේද තේරුම?

"වාසනා දාහ තන්ත්‍ර" දවසේ ඕනෑම වෙලාවක, ආගමික ස්ථාන / නිවසේ පූජා ස්ථානය ඇරෙන්න වෙන ඕනැ තැනක කරන්න හොඳයි කියලා තමා සෘෂිවරු දේශනා කරලා තියෙන්නෙ. වැඩේ පටන් ගනිද්දි බුද්ධියට අධිපති ගණ දෙවියන්ට හිතින් නමස්කාර කරන්න කියලා තියෙනවා වැඩි සාර්ථක ප්‍රතිඵල වෙනුවෙන්, ගණ දෙවියො විශ්වාස නැත්තං ඔයාට ඔයා අදහන ආගමක් සිහි කරලා වැඩේට අත ගහන්නකො, කෝකකටත් හොඳයිනෙ ඉතින් හොඳ වැඩක් පටන් ගනිද්දි ආගම දහමට මුල්තැන දෙන එක නේද?

"වාසනා දාහ තන්ත්‍ර" කරන විදිහ ගැන කියන කතාව මෙතනින් අහන්න


"වාසනා දාහ තන්ත්‍ර" සුද්ද කොපි කළා නෙ. සුද්දා ඒකෙන් පොඩි කෑල්ලක් අල්ලන් හැදුවා Journaling කියලා එකක්. හිතේ ලෙඩ පොතේ ලියන එකනෙ ඕක. ලෝකෙම පිළිගත්ත සායනිකව තහවුරු වෙච්ච මනෝ චිකිත්සක ක්‍රමයක් නෙ ඉතින් ඒක. කිතු දහමෙ යම් යම් කරුණු මුල් කරගෙන පස්සෙ කාලයන්ගේදි කැඩිල ගිය අය එක එක සභාවල් / ශුභාරංචි මධ්‍යස්ථාන අරවා මේවා හදාගත්තනෙ. ඇමරිකාවෙන් බිහි වෙච්ච ප්‍රොතෙස්තන්ත්‍ර නිකායවල්, යුනිටේරියන් පල්ලිය වගේ ආගමික සංවිධානවලින් "වාසනා දාහ තන්ත්‍ර" ඒ ගොල්ලංගෙ විදිහට යාඥා එක්ක කරගෙන යනවා Burning Bowl Ceremony කියලා. අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ හරි ජනවාරියෙ හරි ඒ ඒ පල්ලි නියම කරගත්ත දවසක අර "වාසනා දාහ තන්ත්‍ර" විදිහටම දුක පුච්චනවා එයාලත්.

පෞද්ගලිකව මම "වාසනා දාහ තන්ත්‍ර" පිහිට සෑහෙන්න ලබාගෙන තියෙනවා. ප්‍රේම(ය) බිඳ වැඩීම් වලදි මගෙ හිතේ දුක නිදහස් කලේ "වාසනා දාහ තන්ත්‍ර". මම නම් පෙම්වතියට අදාල මං ළඟ තිබ්බ හැම දේම (අරං දීපු ඇඳුම් පවා අනේ) ඔහෙ ඕනැ මඟුලක් කියලා පුච්චලා දැම්මා. එහෙම කරන්න කියලා නම් නෑ හැබැයි පුරාණ ඉසිවරු මම එහෙම කළාට, හැබැයි ඒකෙන් මගෙ හිත නම් සැහැල්ලු උනා. (උන්න හැටියට මලා මදැයි කියන්නෙ ඒකටද?)

බ්ලොග් එක කියවන්නම ආපු අය වීඩියෝ එකත් බලලා, කැමැත්තක් ඇති උනොත් සබ්ස්ක්‍රයිබ් කරලා යන්න හාද?

මෙව්වා හොඳ නම් යාළුවන්ට කියන්න, නරක නම් මට කියන්න..

බොහොම ස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගියාට,
ජයවේවා! 

Tuesday, June 5, 2018

ඇත්තු 7කට ගල් බෝරෙකට පෙරලන්න බැරි වළගම්බා රජ්ජුරුවන්ගෙ පෙට්ටගම් ගල

මම හස්ති ෆේස්බුක් පිටුවට 2018 මාර්තු 31 වැනිදා ලියපු සංචාරක සටහනක්. 

මහා කළු සිංහලයා කියලා ඉතිහාස ගත වෙච්ච වළගම්බා රජ්ජුරුවො ගැන නොදන්න සිංහලයෙක් හැබෑ සිංහලයෙක් වෙන්න බෑ, මොකක් හරි කලවමක් වෙන්නම ඕනෑ කියලා තමා අපේ පැත්තෙ මිනිස්සු නම් කියන්නෙ. අවුරුදු ගාණක් වළගම්බා රජ්ජුරුවො රට පුරාම තැන් තැන්වල හැංගිලා හිටියනෙ, රජ්ජුරුවො අපේ ගම්පහ දිසාවෙත් සෑහෙන තැන්වල කරක් ගහලා තියෙනවා. මම මේ ඔයගොල්ලන්ව එක්ක යන්න හදන්නෙ වළගම්බා රජ්ජුරුවො හැංගිලා හිටිය වෙන අපූරු කන්දක් පෙන්නන්න. කන්දෙ නම පෙට්ටගම් කන්ද. වළගම්බා රජ්ජුරුවන්ගෙ මහා වස්තු සම්භාරයක් හංගාපු තැනක් කියලනෙ එතන කියැවෙන්නෙ, ඕං ඉතින් මේ ලිපිය කියෝලා තමුන්නාන්සේලා එහෙ නිදං හාරන්න එහෙම ගිහිල්ලා මාව එහෙම පටළවනවා නෙමෙයි හොඳේ.

231 ගම්පහ කිරිඳිවැල බස් පාරෙ (යක්කල රදාවාන පාර කියලත් කිව්වෑකි) දික්කන්ද හංදියෙන් ඌරාපොළ පාරෙ කිලෝමීටරයක් විතර එද්දි ගල්බොඩ ගම හම්බවෙනවා. ගල්බොඩ ගමේ ඉසිසර තපෝවනය ආරණ්‍ය සේනාසනය ළඟ තමා මේ ගල තියෙන්නෙ. ගල්බොඩ හංදියෙන් ඇතුල් පාරෙ මීටර් තුන් හාරසීයක් විතර ඉස්සරහට යද්දි හම්බවෙනවා වම් අත පැත්තෙ ගල්බොඩ මරණාධාර සමිති ගොඩනැගිල්ල. ඒත් එක්කම එතනින් උඩහට කලූගල් කෑලි මතුවෙච්ච පාර දිගේ තව උඩහට යන්න ඕනැ ඉතින්. ගස්කොලන් වලින් මහ ගල් කුළු වලින් වට වෙච්ච මේ පාර දිගේ ඔහොම යද්දි ඉස්සරහට පාර එන්න එන්නම කඳු තරණයක් වෙන නිසාත් පොඞ්ඩ එහෙ මෙහෙ උණොත් මහ හෙළකට පල්ලම් බහින්න වෙන නිසාත් පරෙස්සමට යන්න ඕනෑ. පාරෙ කෙළවර ආරණ්‍යයට ලං වෙද්දි අපිට බෝධීන්වහන්සේ පේනවා. ඒ පාමුල මෙහෙණින්වහන්සේලා වැඩවාසය කරනවා, උඩහ ආරණ්‍යයේ තමා ස්වාමීන්වහන්සේලා වැඩ ඉන්නෙ. ඉතින් ටි‍්‍රප් මානසිකත්වෙන් මෙතන කෑකෝ ගහන්න සුදුසු තැනක් නෙමේ කියලා ඔයාලට අමුතුවෙන් කියල දෙන්න ඕනෑ නෑනෙ නේද? ඒත් ඒ ගැන අමුතුවෙන්ම මතක් කරලා දෙන්න ස්වාමීන්වහන්සේලාට දැන්වීම් ගහන්නත් වෙලා තියෙන්නෙ ඇයි කියලා මට හිතිච්ච දේ මං මේකෙ නොලියා ඉන්නම් මොකටද අපි හිත් රිද්ද ගන්නෙ නේද? මෙහෙණින්වහන්සේලා වැඩ ඉන්න හරියෙ නම් බයිසිකලයක් දෙකක් ත‍්‍රීවීලරයක් ඇරෙන්න වාහන නවත්තන්න මහ ඉඩකඩක් නෑ, එතනින් උඩහට ගියොත් ආරණ්‍යය කිට්ටුවෙන් වාහනේ නවත්ත ගන්න පුළුවන්, වාහනේ ගන්න කලින් ඉස්සෙල්ලා කවුරු හරි උඩහට යවලා බලන්න තව වාහන ගිහින් තියෙනවද කියලා උඩහා වාහන වැඩි උනොත් ඩ‍්‍රයිවර් මහත්තයට ලොකු කට්ටක් කන්න වෙනවා වාහනේ හරෝලා පහලට එන්න. පරෙස්සමට යනව නම් විතරක් වාහනේම යන්න පුළුවන් හැබැයි ආවටත් වැඩිය අමාරු කන්දක් තමා උඩට නගින්න වෙන්නෙ පාර දිගේ.

ටික ටික උඩහට ඇවිදං යනකොට කන්දෙ මහා ගල් තලාව පේන්න පටන් ගන්නවා. ඒ ගල් තලාව එක්කම ඈතින් ගල උඩ ගලක් තිබ්බා වාගේ පේන පෙට්ටගම් ගල පේනවා. දැක්ක ගමන් පැනගෙන පෙට්ටගම් ගල ගාවට දුවන්න එපා, ඒ හරියෙ බෑවුම වැඩියි පොඞ්ඩ එහෙ මෙහෙ උනොත් අඩි ගාණක් පහළ ගල්වලක දොයියන්න තමා වෙන්නෙ ආයෙ ඇස් නාරින්නම. ඉවසීමෙන් ඉස්සරහට එන්න, ආරණ්‍යයේ චෛත්‍යය ළඟටම. චෛත්‍ය ගාවින් තමා පරෙස්සමට පෙට්ටගම් ගල ළඟට ළං වෙන්න පුළුවන්. ඉස්සෙල්ලා ගල බලනවද, ආරණ්‍ය වැඳ පුදාගෙන ඉන්නවද කියලා ඉතින් තීරණේ ඔයාලෑ අතේ, මම නම් වඳින්න ගිය ගමනක් නෙමේ හින්දා ගල ළඟට තමා කිට්ටු වුණේ. ගල මෙහෙම තියෙන්නෙ ස්වභාවිකව වෙච්ච විපර්යාසයක් හින්දා කියන්නා වාගෙම කවුරු හරි පෙරළලා ගෙනත් තිබ්බ ගල් උගුලක් කියලත් කියනවා. හැබෑටම මේක අපේ වළගම්බා උත්තමයගෙම වැඩක් වෙන්නත් බැරි නෑ නේද?

පෙට්ටගම් ගල තියෙන විදිහ දැක්කාම දැන් පෙරළෙයි දැන් පෙරළෙයි වගේ තමා හිතෙන්නෙ. ඒත් ආරණ්‍යයේ නායක හාමුදුරුවෝ බෝගොඩ ඉන්ද්‍රවිමල ලොකු හාමුදුරුවො කිව්වේ අහල පහළ ගල්කොරිකාරයො ගල්බෝර දාලා වත් ගලේ කිසි වෙනසක් වුණේ නෑලූ. ගොඩාක් කාලෙකට කලින් ඒ පැත්තෙ හිටපු සල්ලිකාර, බලපුළුවන්කාර හාමු මහත්තයෙක්, පෙට්ටගම් ගල හොල්ලන්න කියලා හිතාගෙන අලි 7 දෙනෙක් දම්මලා තල්ලූ කරන්න හදලා තියෙනවලූ, එතකොටම කොහෙන්දෝ මතු වෙච්ච කළු දෙබරො ?ණකගෙ ප‍්‍රහාරෙට කුලප්පු වෙච්ච අලි හත්දෙනා කන්දෙන් පල්ලෙහාට පතබෑවිලා තියෙනවාලූ. ඒ අලි වැටිච්ච ගම් පළාතට අලිවලපල්ල කියලලූ නම වැටිලා තියෙන්නෙත්.

කඳු මුදුනට ගම්පහ දිසාවෙ සුප‍්‍රසිද්ධ පූජනීය ස්ථාන 3ක් වෙච්ච වාරණ, පිළිකුත්තුව, මාලිගාතැන්න පුදබිම් එක පාර පේනවා. කඳු මුදුනෙදි සනීපෙට ඇඟට වදින හීන් හීතල හුලං රැල්ලත් එක්ක ගස්කොළන්, සරු සාර කුඹුරු යායවල් අතරින් ඈත බලං ඉන්නකොට ඉන්නෙ කොහෙද කියලත් අමතක වෙනවා මිත‍්‍රවරුනි ඒ තරම් සැනසිල්ලයි.

වළගම්බා රජ්ජුරුවො මෙතන වස්තුව හැංගුවා කියන හින්දම මෙතන නිදන් ගන්න ගොඩාක් අය එක එක සෙල්ලම් දාලා තියෙනවලූ. හාමුදුරුවොයි ගමේ මිනිස්සුයි එකතුවෙලා තමා මේ අපූරු සොබා ලස්සන මේ තියෙන තත්ත්වෙට හරි රැකගෙන තියෙන්නෙ. පෙට්ටගම් ගල මුදුනෙ සර්වඥ ධාතූන්වහන්සේලා තැන්පත් කරලා බුරුම ක‍්‍රමේට රන්වන් පාටට පොඩි චෛත්‍යයක් හදන්න ප‍්‍රධානම හේතුව වෙලා තියෙන්නෙ ගල උඩට කොල්ලො කුරුට්ටො නැගලා අනතුරක් කරගනීවි කියන බයලූ. ඒ වගේම ජෝඩු ජෝඩු ඇවිත්, බේබද්දො ඇවිත් ගල වනසන්න කලින් මෙතන පූජා භූමියක් තියෙනවා කියලා හැඟෙන්න දැනෙන්න සංඥාවක් දෙන අරමුණත් ඒ පොඩි චෛත්‍ය හැදිල්ලෙ පිටිපස්සෙ තියෙනවාලූ.

පෙට්ටගම් ගලට පහලින් තියෙනවා වළගම්බා රජ්ජුරුවො හැංගිලා හිටපු ගල්ගුහාව. රජ්ජුරුවො පාවිච්චි දේවල් කීපෙකුත් එහෙන් හොයාගත්තලූ. අහු මුළු අස්සෙ රිංගන්න කැමති අයට නම් ඉතින් වවුල් බෙටි ගඳ ගුහාව රස සාගරයක් වේවි, හැබැයි පරෙස්සමින් වල් ඌරෙක්, රිලවෙක්, හඳුන් දිවියෙක් වගේ එකෙක් ඔයාලට සට්ටමක් දාන්නත් බැරි නෑ ගල්ගුහාව කිට්ටුවදි, මොකද ඒ ඉසව්ව එයාලෑ මිසක් ඔයාලෑ නෙමේනෙ නේද? ගුහාවට රිංගලා ඇතුලෙදි එක රෑණට ඇඟටම එන වවුල් රෑණකට මැදිවෙන්න වුණොත් ඒකට නම් මං වගකියන්නෑ ඕං. මං තනියම ගිය ගමනක් නිසා වවුල් බෙටි විමානෙ අස්සෙ මුල්ලෙ රිංගන්න ගියෙ නෑ, මොකට නිකං නිස්කාරණේ දුක් විඳිනවද ඉතින් මං ඔයාලට මෙහෙමත් තැනක් එතන තියෙනවා කිව්වම මදැයි නේද?

පිං බිමට, ලස්සන පරිසරේට හානියක් නොවෙන්න පෙට්ටගම් ගලේ අපූරුව හැබැහින් දැකලා විඳලා නිවී සැනසිලා එන්න හිතෙනව නම් ඔයා උපන් පුණ්‍යවන්තයෙක්. ස්වාමින්වහන්සේලාටයි එන සිල් ඇත්තන්ටයි එහෙ වැසිකිළි කැසිකිලිවල ඉඳලා අඩුපාඩු එමටයි, පුළුවන් කෙනෙක් ඉන්නව නම් දායකත්වයකුත් දීලා පිංකමකුත් කරගෙනම එන්න.

Sunday, June 3, 2018

අපේ සෝම හාමුදුරුවෝ

රට, දැය, සසුන සුරකින්නට පෙරට විත් ලක්වැසි සිත් අවිදු අඳුර දුරලූ උතුම් බුද්ධ පුත්‍ර 
ශ්‍රී ධර්මරක්ෂිත වංශාලංකාර අනුවිජ්ජක 
ගංගොඩවිල සෝම නා හිමිපාණන්ගේ පූජිත ජීවිත කතා පුවතෙන් 
"සන්රස" ඇසිදිසි බොදු වියමන මෙලෙස ඇරඹෙන වගයි. 



උතුම් පුතෙක්
කොළඹ නගර සභාවේ සේවයේ නියුතුව සිටි වීරතුංග ආරච්චිගේ දොන් ධර්මදාස මහතාගේත් පියාගේත් හෙට්ටිගේ දොන් චාලට් මවගේත් දරු සිහින සැබෑ කරමින් 1948 වසරේ අප්‍රේල් මස 24 වැනිදා මෙලොව එළිය දුටු පිංවත් දරුවා "වීරතුංග ආරච්චිගේ දොන් සෝමරත්න" නම් ලද්දේය. නුගේගොඩ, ගංගොඩවිල හැදී වැඩුන සහෝදර සහෝදරියන් පස් දෙනෙක්ගෙන් යුත් පවුලේ වැඩිමලා වූයේ සෝමරත්න ලොකු අයියාය. ග්‍රීන්ලන්ඩ් විද්‍යාලයෙන් (1956 බුද්ධ ජයන්ති වසර හා සමගාමීව 1961 දී ඉසිපතන විද්‍යාලය බවට පත් වූ) හා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් අධ්‍යාපනය හැදෑරූ සෝමරත්න සිසුවා පාසැල් විෂය ධාරාවේ අනෙකුත් විෂයන්ට වඩා බුදු දහම ඉගෙන ගැනීමට මහත් ලැදියාවක් දැක්වීම විශේෂත්වයකි. සෝමරත්න සිසුවා ගංගොඩවිල සුභද්‍රාරාමයේ ශ්‍රී රේවත දහම් පාසලට සහභාගී වූයේ මහත් උනන්දුවකිනි. ධර්මදාස පවුල මිරිහාන ප්‍රදේශයට ස්ථිර පදිංචිය පැමිණීමෙන් පසු සෝමරත්න මිරිහානේ ශ්‍රී රෝහණ දහම් පාසලට ඇතුලත් කෙරිණ.

වැඩිදුර බුදු දහම හැදෑරීම සඳහා පසුව බම්බලපිටියේ වජිරාරාමය වෙත පිවිසෙන සෝමරත්න සිසුවා එහිදී ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුහි නිරත වූයේය. බුදු දහම අධ්‍යනයෙහිලා ඔහු දැක්වූ විශේෂ දස්කම් හේතුවෙන්, 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දීම දහම් පාසැලේ පන්තියක් භාරව ඉගැන්වීම් කටයුතු කිරීම පැවරිනි. පාසැල් වියේ රග්බි ක්‍රීඩකයෙක් ලෙස දස්කම් දැක්වූ වූ සෝමරත්න ඉතා ක්‍රියාශීලී මෙන්ම කාර්යශූර පුද්ගලයෙකි. සැමවිටම උතුම් නායකත්ව ගුණාංග ප්‍රකට කළ සෝමරත්න දහමට ලැදි තමා වැනිම සිසුන් එකමුතු කරමින් "බෝසත් ශිෂ්‍ය සම්මේලනය" නමින් ක්‍රියාකාරී බෞද්ධ සංගමයක් නිර්මාණය කලේ මෙම අවධියේදීමය.

පාසල් අධ්‍යාපනයෙන් පසුව තරුණ සෝමරත්න මිරිහානේ වෙළෙඳසැලක් ආරම්භ කළේය. වෙළහෙළඳාම් කටයුතු අතරවාරයේදී ඔහු මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ පැවැති ධර්ම දේශනා හා පෝය දින වැඩසටන් වෙත නොවරදවාම සහභාගී වෙමින් එකල ගිහි අභිධර්ම දේශකයෙකු ලෙස සුප්‍රකට ඒ.ඩී.එම් බුද්ධදාස මහතාගෙන් අභිධර්මය මැනැවින් හැදෑරීය. පසුව ධර්මය හා අභිධර්මය පිළිබඳ පුළුල් වූ ධර්මඥානයකට හිමිකම් කී නිසාම සෝමරත්න තරුණයාට පොහොය දින වලදී මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ සිල් සමාදන් වූ ගිහියන්ට ධර්මානුශාසනා කාර්යයද පැවරිණ.

ගිහිගෙයින් පැවිදි බිමට
වෙළඳාමට වඩා දහමට ඇලුණු සිත් ඇති සෝමරත්න තරුණයාට වජිරඥාන ධර්මායතනයේ පැවිදි වීමේ සිත් පහළ වූවද දෙමාපිය අකමැත්ත ඊට හරස් විය. පසුව දෙමාපියන්ගෙන් දැඩි ලෙස ඉල්ලීම් කර කැමැත්ත දිනා ගැනීමට සමත් වෙන ඔහු මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන්ගේ අනුශාසනා මත 1974 වසරේ සැප්තැම්බර් 24 වනදා මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේදී "ගංගොඩවිල සෝම" නමින් පැවිදි දිවියට පිවිසුනේය. ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරව බහුමානයට පාත්‍ර වු භික්ෂූන්වහන්සේලා දෙනමක් වන පුජ්‍ය මඩිහෙ පඤ්ඤාසීහ මහා නා හිමි හා පුජ්‍ය අම්පිටියේ රාහුල නා හිමි සෙවණේ සාමණේරනමක් ලෙස ධර්ම - විනය පිළිබඳ මැනැවින් හැදෑරූ සෝම සාමණේරයන් වහන්සේ බුදුන්වහන්සේ විසින් උගන්වනු ලැබු භාවනාව විෂයක් ලෙස අධ්‍යනය කිරීමට විශේෂ කැමැත්තක් දැක්වූ භාවනාවේ දක්ෂ සිසුවෙක් වූහ. සාමණේර අවධියේ සෑම සති අන්තයකම මහරගම පිළිකා රෝහලට වැඩම කරන උන්වහන්සේ රෝහල් කාර්ය මණ්ඩලය සමඟ එක් වී රෝගීන්ට උපස්ථාන කරමින් ඔවුන් වෙනුවෙන් ධර්ම වැඩසටහන් මෙහෙයවීම සිදු කළහ. ධර්මායතනයේ දහම් පාසලේද ක්‍රියාකාරී හිමිනමක් වූ උන්වහන්සේ 1975 වසරේ ඇසළ මාසයේදී මඩිහේ මහා නායක හිමියන්ගේ උපදෙස් මත නුවණින් යුත් අනාගත පරපුරක් නිර්මාණය කිරීම සඳහා බෞද්ධ චින්තනය මත පදනම් වූ තරුණ සංවිධානයක් ලෙස නිර්මාණය වූ “තුරුණු සවිය” සංවිධානය මෙහෙයවීමේ වගකීම භාර ගත්හ. සෝම හිමිපාණෝ වර්ෂ 1976 මැයි මස 26 වැනිදා ධර්මධර විනයධර සුපේක්ෂල ශික්ෂාකාමී භික්ෂුවක ලෙස උපසම්පදාව ලැබූහ.

දැය පුබුදන පළමු වෑයම
සෝම හිමියන්ගේ නායකත්වයෙන් යුතු “තුරුණු සවිය” සංවිධානය වටා මුලදී තරුණ තරුණියන් සුළු සංඛ්‍යාවක් පමණක් සහභාගී වුවද කල් යත්ම එය දස දහස්‌ ගණන් තරුණ පිරිස්‌ ඒකරාශී කරන, ජාතිය අවදි කරන බලවේගයක්‌ බවට පත්විය. රට, දැය, සසුනට හිතැති සැබෑ බෞද්ධයන් බිහිකිරීමේ අරමුණෙන් සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය සංවාදශීලි ධර්ම සාකච්ජා ආදිය රට පුරා ජනයා රැස් වන ස්ථානයන්හි සංවිධානය කරමින් පොදු ජනතාව අතරට සුපිරිසිදු බුදු දහම සන්නිවේදනය කරමින් “තුරුණු සවිය” සංවිධානය පෙරටු කොටගත් සෝම හිමියෝ මහත් සේ වෙහෙසුනහ. තෙරුවන් වැදීම හා මල්පහන් පූජා කිරීමෙන් ඔබ්බට ගොස් “සැබෑ බෞද්ධයා යනු කවුරුන්ද”, “දෙවියන් යැදීමෙන් මෙලොව යහපත උදා කර ගත හැකිද”, “මිත්‍යා විශ්වාස මුල්කර ගනිමින් සිදු කරන පිළිම නිර්මාණය” වැනි මාතෘකා ඔස්සේ උන්වහන්සේ පැවැත්වූ ධර්ම දේශනා නිසා පහන් සංවේගය උපදවාගත් පිංවතුන් ගණන දස දහස් ගණනකි. “තුරුණු සවිය” වැඩපිළිවෙල පිළිබඳ නොපහන් වූවෝද සිටි අතර ඔවුන් විවිධ චෝදනා, අපවාදයන් නගන්නට වූහ. දහමට පරිබාහිර කිසිදු වැරදි කටයුත්තක් තම සංවිධානය තුළ සිදුනොවන බව මේවාට පිළිතුරු දෙමින් සෝම හිමියන් සෘජුව ප්‍රකාශ කළහ. මෙම ප්‍රකාශයත් සමඟ දායක සභාවේ යම් පිරිසක් සෝම හිමියන් සමඟ නොමනාපකම් ඇති කරගත්තද උන්වහන්සේ ඒ කිසිත් නොතකා සිය මෙහෙවරේ පෙර සේ නියැලුන අතර හැත්තෑව දශකයේ අග භාගය වන විට ධර්මායතනයේ දහම් පාසලේ උන්නතිය වෙනුවෙන් ඉතා කැපවීමෙන් කටයුතු කරමින් එහි ප්‍රධානාචාර්ය ධූරයේ වගකීම් මැනැවින් ඉටු කළහ. පසු කලක "බෝධි පූජාව හා සෙත් පිරිත්", "ධම්ම චින්තා", "බුදු ගුණ මෛත්‍රී ශාන්තිය", "මේ විපතින් ජාතිය ගලවන්නට නම්", "සෞභාග්‍යයේ දොරටුව", "දේව සංකල්ප", "ධම්ම පදය", "ලොව්තුරු සුවඳ" හා "බුද්ධ ස්ථූප" වැනි දහම් ග්‍රන්ථ රචනය තුළින් බෞද්ධයා වෙත නිර්මල බුදු දහමේ පණිවුඩය බෙදා දුන් සෝම හිමිපාණන්ගේ පළමු ග්‍රන්ථය වන “රාහුල මාතා” කෘතිය රචනා වූයේද මේ අවධියේය.

අරණක දැහැනකට සමවැද



තරුණ හිමිනමක්‌ ලෙස දිනෙන් දින ප්‍රසිද්ධියට පත්වෙමින් සිටි සෝම හිමියන්ට සාම්ප්‍රදායික සමාජයෙන් විවේචනයන් එල්ල වුවත් අටලෝදහමට අනුව කම්පා වීමෙන් ඵලක්‌ නොමැති බව දැන සිටි නිසා උන්වහන්සේ ඒවා කිසිවක්‌ භාර ගත්තේ නැත. එහෙත් තමන් වහන්සේ දැඩි සේ පීඩාවට පත් කළ විවේචනවලදී සෝම හිමිපාණෝ හුදෙකලා වෙමින් තම ආධ්‍යාත්මික ශක්‌තිය වඩවා ගැනීමට හුරු පුරුදුව සිටියහ. සෝම හිමිපාණෝ තමන් වහන්සේ සාමනේර අවධියේදී ඉතා උනන්දුවෙන් හැදෑරූ භාවනා මගට කෙටි කාලයකට හෝ පූර්ණ කාලීනව පිවිස පැවිදි ශික්ෂාවන් සම්පූර්ණ කරගැනීමට මේ සුදුසුම කාලය යැයි තීරණය කළහ. උන්වහන්සේ ඒ උදෙසා එතෙක් වැඩ සිටි ධර්මායතනයෙන් බැහැරව අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රදේශයේ “උණුවතුර බුබුල” නම් අති දුෂ්කර ගම්මානයේ පිහිටි වෙහෙරගල ආරණ්‍යයට වැඩම කළහ. එවැනි දුෂ්කර ප්‍රදේශයකට නොයන ලෙස බොහෝ දෙනෙක් ඉල්ලා සිටියද උන්වහන්සේ ඒ සියළු දෙනාටම සිනහමුසු මුහුණින් යුතුව තමා පැවිද්දෙකු බවත්, පැවිද්දකුට දුෂ්කර ජිවිතයක් ගත කිරීම අපහසු නොවන බවත්, ශ්‍රමණ ප්‍රතිපදාවන් වැඩීමට වඩාත් සුදුසුවන්නේ අරණ්‍යවාසී වීම බවත් පිළිතුරු දුන් බව පැවසේ. මාස ගණනාවක් තිස්සේ පිණ්ඩපාතයෙන් දවසට එක් වරක් පමණක් යැපෙමින් භාවනායෝගීව සිටි උන්වහන්සේ, නායක ස්වාමින් වහන්සේගේ හා දායකයන්ගේ ඉල්ලීම මත ධර්මායතනයේ නව විහාර මන්දිරය නිර්මාණය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයතු කරන්නට නැවතත් ධර්මායතනය වෙත වැඩම කළහ. එම කටයුතු අවසාන වූ සැනින් නැවත ආරණ්‍යගත වෙන සෝම හිමිපාණෝ භාවනායෝගීව නැවතත් පැවිදි ශික්ෂා ප්‍රගුණ කිරීම ඇරඹූහ.

මහඔය සිට කැළණියට පා ගමනින්


ගම්බදව වෙසෙන ජනතාවගේ හිත සුව පිණිස තමා ආරණ්‍යගතව වැඩවෙසෙන වෙහෙරගල සිට ඌව, දකුණ හා සබරගමුව ආදී පළාත් රැසක් ආවරණය කරමින් කැළණිය දක්වා ධර්මය දේශනා කරමින් පාගමනින් වැඩම කිරීමට මේ අතරවාරයේ සෝම හිමිපාණෝ තීරණය කළහ. ඉතා දුෂ්කර ප්‍රදේශ ඔස්සේ වන සතුන්ගෙන් බේරී යාම ඉතා අපහසු බැවින් එලෙස පාගමනින් නොවඩින ලෙස වෙහෙරගල ගැමියන් විසින් ඉල්ලා සිටියද දුෂ්කර පෙදෙස්වල ජනතාවට ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාවක් නොලැබෙන නිසා තමන් මේ ගමන නොනවත්වා යන බවත්, එය පැවිද්දෙකුගේ යුතුකම බවත් උන්වහන්සේ ප්‍රකාශ කළ බැව් පැවසේ. සති පහක කාලයක් තිස්සේ සැතපුම් දෙසියයක් ඉක්මවන පාද චාරිකාවේ යෙදුනු උන්වහන්සේ එම ප්‍රදේශ වල සිටි ගැමියන්ට ධර්මය දේශනා කරමින් පිණ්ඩපාතයෙහි වැඩියහ. රාත්‍රී කාලයට එම ප්‍රදේශයන්හි විහාරාරාමයන්හි වැඩ වාසය කළහ. අවසානයේ සෝම හිමිපාණෝ නොපසුබස්නා වීර්යයෙන් යුතුව ඉදිරියටම වැඩම කරමින් කැළණි විහාරයෙන් තමන් වහන්සේගේ සදහම් පාද චාරිකාව අවසන් කළහ. ඉන්පසු උන්වහන්සේ මහරගම ධර්මායතනයට වැඩම කළේ තමන් වහන්සේ විසින් අරඹන ලද සදහම් මෙහෙවර තවදුරටත් ඉදිරියට රැගෙන යනු පිණිසය. මේ සියල්ල සිදුවන අතරේ, ධර්මායතන දායක සභාවේ ඇතැමෙක් සෝම හිමියන් සිදුකරන්නේ වනගතව භාවනා කිරීම නොව පැවිද්ද අතහැර දුස්සීල දිවියක් ගත කිරීම යැයි විවිධ අසත්‍ය ප්‍රචාර පතුරවමින් මඩිහේ පඤ්ඤාසීය නායක හිමියන්ගේ සිත සෝම හිමියන් හා බිඳවීමෙහිලා උත්සහ කළද අවසානයේ එම කටකතා අසත්‍ය බවත් ගංගොඩවිල සෝම හිමියන් නිවැරදි බවත් නායක හිමියන් විසින් තීරණය කළ බැව් කියැවේ.

ඕස්ට්‍රේලියාවට වැඩම කිරීම
සෝම හිමිපාණන්ගේ සද්ධර්ම මෙහෙවර පිළිබඳ පහන් සංවේගයට පත් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින්, ශ්‍රී ලංකාවේදී සෝම හිමිපාණන්ට එල්ල වන චෝදනා හා බාධක මගහැර ඔස්ට්‍රේලියාවට වැඩම කර ඕස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගනිමින් ධර්ම ධූත මෙහෙවරේ නියැලෙන ලෙස 80 දශකයේ මුල් භාගයේදී පමණ ආරාධනා කරනු ලැබීය. මෙම ආරාධනාව පිළිගනිමින් සෝම හිමිපාණෝ 1986 වසරේ වෙසක් මාසයේ සෝම හිමි ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවට වැඩම කරන ලද අතර උන්වහන්සේ මාස තුනක පමණ කාලයක් රිච්මන්ඩ් බෞද්ධ විහාරයේ වැඩ වාසය කළහ. ලාබ සත්කාර නොලැබේයැයි වැරදි ඉදිරියේ මුනිවත රැක සිටීම සෝම හිමිපාණන්ගේ ලක්ෂණය නොවීය. සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් උන් වහන්සේ සැම විටම අනුදැන වදාළහ. මෙය ඔස්ට්‍රේලියාවේ විසූ ඇතැම් ශ්‍රී ලාකික බෞද්ධයන් බලාපොරොත්තු නොවූ තත්ත්වයක් බැව් පැවසේ. කෙසේ වෙතත් සෝම හිමිපාණන්ගේ උදාරතර සදහම් මෙහෙවර කෙරෙහි බැතිබර ගෞරවයක් ඇතිකොටගෙන සිටි ශ්‍රී ලාකික බෞද්ධයන්ගේ ආරාධනා පරිදි 1989 දී නැවතත් සෝම හිමිපාණෝ ඕස්ට්‍රේලියාවට වැඩම කළහ. එවකට ඕස්ට්‍රේලියාවේ මහායාන ධර්මය ප්‍රචලිත වී තිබු බැවින් නිවැරදි ථෙරවාදී බුදු දහම නිවැරදි ආකාරයෙන් සමාජ ගත කළ යුතු යැයි අදිටන් කරගත් සෝම හිමිපාණන් ඒ උදෙසා ඕස්ට්‍රේලියාවේ දායක පිරිස සමග එක්ව ස්ප්‍රින්ග්වේල්, රීජන්ට් විදියේ "මෙල්බන් ශ්‍රී ලංකා විහාරය" නමින් මෙල්බන් නගරයේ පළමු සිංහල විහාරය ස්ථාපිත කළහ.

මේ අතරතුර වැරදි අඩුපාඩු කෙලින්ම පෙන්වා දීම හේතුවෙන් යම් පිරිසක් සෝම හිමිපාණන් සමග උරණ වී ඔවුන් සෝම හිමියන් විහාරයෙන් නෙරපා දැමීමට රහසේ කටයුතු කළ බව පැවසේ. පසුව සෝම හිමිපාණන් කෙරෙහි හිතවත් ඕස්ට්‍රේලියාවේ විසූ ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ මුලිකත්වයෙන් 1993 මැයි මාසයේදී 30 වැනි දින විවිධ බාධක රැසක් මධ්‍යයේ නෝබල් පාක් ප්‍රදේශයේ රිච් වීදියේ කාමර 2 ක කුඩා නිවසක් කේන්දර කරගනිමින් "වික්ටෝරියා බෞද්ධ මධ්‍යස්ථානය" ස්ථාපිත කෙරිණ. සියළුම ආගම්වල ජනයා ඒ වටා රොක් වෙමින් බුදු දහමට ලැදිව කටයුතු කිරීම නිසා දිනෙන් දින පිරිස වැඩිවෙත්ම එම කුඩා ස්ථානයේ ඉඩකඩ සෝම හිමිපාණන්ගේ ධර්ම ධූත කාර්යයන් නිසියාකාරයෙන් කරගෙන යාමට ප්‍රමාණවත් නොවීය. එබැවින් 1995 වසරේදී සෝම හිමියන්ගේ උපදෙස් මත මිලදී ගන්නා ලද වික්ටෝරියා බර්වික් ප්‍රදේශයේ අක්කර 5 ක භූමි ප්‍රදේශයක වන වගාවක් හා විහාර සංකීර්ණයක් ඉදි කිරීම ඇරඹිනි. සෝම හිමියන්ගේ දුර දක්නා නුවණ හා නිවැරදි දැක්ම සමග 2002 වසරේදී එය "ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය" විහාරස්ථානය ලෙස බුදු සසුන උදෙසා දායාද කෙරිණ. ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය බෞද්ධයන්ගේ එදිනෙදා දිවියට ධර්මානුකූල ආලෝකයක් වී ඇත්තා සේම බුදු දහම හා බෞද්ධ සංස්කෘතිය පිළිබඳ හැදැරීමට කැමති පුද්ගලයන් සඳහා පහසුකම් සැලසීමද සිදු කරනු ලබයි. සෝම හිමිපාණන්ට ඕස්ට්‍රේලියාවේදී එදිරිව කටයුතු කළ ශ්‍රී ලාංකිකයන් පිරිස පසුව උන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටි බව පැවසේ.

නැවතත් සිරිලකට - සිරිලකෙන් ඕස්ට්‍රේලියාවට
1996 දී නැවත ශ්‍රී ලංකාවට වැඩම කළ සෝම හිමිපාණෝ ටික කලක් ලංකාවේ වැඩ වාසය කොට නැවත ඕස්ට්‍රේලියාවට වැඩම කිරීමේ අරමුණින් පසු විය. ඒ පියාගේ රෝගාබාධය සඳහා ප්‍රථිකාර සැලසීමට සහ සහ තමන් වහන්සේගේ අධ්‍යාත්මික දියුණුව වැඩි කර ගනු පිණිසත්ය. ලංකාවේ ටික කලක් වැඩ වාසය කිරීමට අදහස් කර ගෙන සිටියද පියාගේ ආබාධය දරුණු අතට හැරීම නිසා උන්වහන්සේට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ වැඩ සිටින්නට සිදු විය. සෝම හිමිපාණෝ මෙලෙස ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන කාලය අතර තුර විවිධ බාහිර බලවේගයන් හමුවේ බුදු දහම විනාශය කරා ගමන් කරන බව අවබෝධ කරගත්හ. ඒ අතර උන්වහන්සේ ත්‍රස්තවාදී ප්‍රහාර නිසා විපතට පත් ප්‍රදේශ හා දුෂ්කර ප්‍රදේශවල ජනතාවට උපකාර කිරීම සඳහා එම ප්‍රදේශ වලට වැඩම කළහ. කෙටි කාලයක් සදහා නැවත ඕස්ට්‍රේලියාවට වැඩම කළ සෝම හිමියන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනයා ඉන් මුදවා ගැනීම සදහා එහි ආධාර එක් රැස් කිරීම පිණිස සංවිධානයක් ආරම්භ කළහ. ඉන් නොනැවතුන සෝම හිමිපාණෝ ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලාට උපකාර කරමින් විපතට පත් ජනයා හා දුෂ්කර ප්‍රදේශ වල ජනයා සමග ළඟින් ඇසුරු කිරීමටත් විවිධ වු උපකාර කිරීමටත් කටයුතු සංවිධානය කළහ.

දැය අවදි කළ රන් ස්වරය
මවුබිමෙන් ඈත්ව ජීවත්වූ නමුත් මවුබිම දිනෙන් දින අධර්මය කරා යොමු වන නිසා සියල්ලට වඩා තමන් වහන්සේ උපන් බිම ගැන තිබුණු හැඟීම් ඉස්‌මතු වී සෝම හිමිපාණෝ නැවතත් මවුබිමට වැඩම කළහ. ඕස්ට්‍රේලියාවේ සිට නැවත ලංකාව බලා වැඩම කළ සෝම තෙරුන්ට දක්නට ලැබුණේ මත් උවදුර සීඝ්‍රයෙන් වැඩි වූ ලාංකීය සමාජයකි. දිනෙන් දින මත්වතුර රකුසා ජාතිය වඳ කරන බවත් මුදලට යටවුණු මන්දබුද්ධික පාලකයන් මූලධර්ම වාදයට යටත්ව රට පාවාදෙන බවත් ප්‍රකාශ කළ සෝම හිමිපාණෝ සිංහල ජාතිය වඳ වී යෑමේ මූලික හේතු මොළයට මෙන්ම හදවතටත් සෘජුව දැනෙන පරිදි පහදා දුන්හ.


බෞද්ධ ප්‍රතිපදාවෙන් බැහැරව හින්දු දේව වාදයේ ගිලී සිටි සිංහල බෞද්ධයන්ගේ පහත් දීන ගතිවලට තදින් පහරදුන් සෝම හිමියෝ බෞද්ධයාගේ නිත්‍ය ශීලය වන පංචශීල ප්‍රතිපදාව තුළින් පුද්ගල සංවර්ධනය ඇතිකර ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් බෞද්ධයාගේ සැබෑ බෞද්ධකම කුමක්‌ද යන්න පැහැදිලි කළහ. එපමණක් නොව පන්සල් භූමිය තුළ හින්දු දේවාල ස්ථාපිත කිරීමට විරුද්ධව උන්වහන්සේ නැගී සිටියහ. එසේම මූලධර්මවාදීන් විසින් විවිධ වරප්‍රසාදයන් දෙන මුවාවෙන් මෙරට බෞද්ධ ජනතාව මූලධර්මවාදී ආගම්වලට බඳවා ගනිමින්, මෙරට බුදු දහමට මරු පහරක් එල්ල කරමින් සිටියදී ඊට නොබියව මුහුණ දෙමින් ජනතාවට සත්‍යය කුමක් දැයි පැහැදිලි කරදුන්හ. ජනතාව මූලධර්මවාදී බලවේගයන්ගෙන් මුදවා ගැනීම සඳහා උන්වහන්සේ ගම් නියම්ගම් පුරා සැරිසරමින් අභීතව ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතවෙමින් මිසදිටු බලවේග අඩපණ කළහ. සිදුවෙමින් යන මෙම මූලධර්මවාදී විනාශය පිළිබඳ ප්‍රසිද්ධියේ විවේචනය කිරීම හේතුවෙන් සෝම හිමිපාණෝ දැඩි අපහසුතාවයන්ට පවා ලක්වූ අවස්ථා නැතුවාම නොවේ. වසර 2500 කටත් වඩා වැඩි ප්‍රෞඩ ඉතිහාසයක්‌ ඇති බෞද්ධ රටකට පත්ව ඇති ඉරණමට පක්‍ෂ දේශපාලනය වගකිවයුතු බව උන්වහන්සේ නොබියව ප්‍රකාශ කළහ. මැති ඇමැතිවරු හා රටේ නායකයන් දුරාචාරය වපුරද්දී ධර්මදේශනා වලින් පමණක්‌ රටක්‌ නොහැදිය හැකි බව පවසා උන්වහන්සේ මේ විනාශකාරි දේශපාලනය නැවැත්විය යුතු බව අවධාරණය කළහ.

බෞද්ධයන් උත්පත්තියෙන් ආගම ඇදහීමේ ඵලක්‌ නැති බව දේශනා කරමින් සෝම හිමිපාණෝ භක්‌තියට නොව බුද්ධියට මුල් තැන දෙන අලුත් විදියට හිතන බෞද්ධ චින්තන සම්ප්‍රදායක්‌ ඇති කළහ. උන්වහන්සේගේ සුමධුර ධර්ම දේශනා රට පුරා ප්‍රචලිත වන්නට වැඩි කලක්‌ ගත නොවීය. උන්වහන්සේගේ ධර්ම දේශනා විලාසය අනෙකුත් දේශකයාණන් වහන්සේලාට වඩා සුවිශේෂී මුහුණුවරක් ගත් දේශනා විලාසයක් විය. ධර්ම දේශනාව මුල සිට අග දක්වාම අසා සිටින අයට නීරසක් නොවන අයුරින් හා ‍ධර්මය ශ්‍රවණය කරන පිරිසගෙන් ප්‍රශ්න අසමින් දේශනාව තුළ ඔවුන් රඳවා ගැනීමේ සුවිශේෂී හැකියාවක් උන්වහන්සේ තුළ වූහ. සාම්ප්‍රදායික දේශන විලාසයෙන් ඉවත් වූ උන්වහන්සේ කාලානුරූපීව හා දේශානුරූපීව තම ධර්ම දේශනා පැවැත්වූ සේක. සෝම හිමිපාණෝ පුවත්පතට, රූපවාහිනියට නැතිවම බැරි හිමිනමක් විය. "අඳුරෙන් එළියට", "නැණ පහන" වැනි සජීවී රූපවාහිනි වැඩසටහන්, ධර්ම සාකච්ඡා ඔස්‌සේ සෝම හිමිපාණෝ මිනිසුන්ගේ එදිනෙදා ප්‍රශ්න වලට ලබා දෙන ධර්මානුකූල පිළිතුරු මිනිසුන්ගේ හදවතට වඩ වඩාත් සමීප විය. උන්වහන්සේගේ ධර්ම දේශනා කෙතරම් සිත් ගත්තේද යත් විහාරස්‌ථානවල ඉඩ මදි වී විශාල ක්‍රීඩා පිට්‌ටනි වැනි තැන්වල ධර්ම දේශනා සංවිධානය වන්නට විය.


මූලධර්මවාදී බලය බිඳවැටෙමින් පැවති නිසා උන්වහන්සේගේ ජීවිතයට නොයෙකුත් තර්ජන එල්ලවෙන්නට පටන් ගත්තේය. කාලීනව ඒවාට මුහුණ දුන් සෝම හාමුදුරුවෝ පැය භාගයක්‌ බණ නෑසූ රටකට පැය තුනක්‌ තරම් කාලයත් බණ අහන්නට පුරුදු පුහුණු කළහ. ක්‍රිකට්‌ හා හින්දි චිත්‍රපට බැලීමට පමණක්‌ රූපවාහිනි වටා එකතු වූ තරුණ පරපුර බණ ඇසීමට රූපවාහිනි වටා එකතුවන්නට තරම් සෝම හිමිගේ ධර්ම දේශනා සිත්ගන්නා සුලු විය. තරුණ ජීවිතය ධාර්මිකව හැඩගස්වා ගැනීම සඳහා අවශ්‍ය දහම් කරුණු තමන්වහන්සේගේ ධර්ම දේශනා තුළින් සමාජ ගතකිරීමේ ප්‍රතිඵලයක් ලෙස සෝම හිමියන් වටා තරුණ පිරිස් විශාල වශයෙන් එක්රොක් වන්නට වූහ. සෝම හිමි තරුණ හදවත්වලට කොතරම් සමීප ද යන්න උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය සඳහා නිදහස් චතුරශ්‍රය වෙත ලක්දිව සිව්දෙසින් පැමිණි තරුණ පිරිස් කදිම සාක්ෂියකි. පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගෙන් පසු විශාල පිරිසක් ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණියේ නම්, ඒ ගංගොඩවිල සෝම හිමියන්ගේ බණ ඇසීමට යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ.

සෝම හිමිපාණෝ මහජනතාවගේ ජනමත නායකයා බවට පත් වූහ. උන්වහන්සේ දේශනා කරන යථාර්ථය අවබෝධ කරගත් මිනිසුන්ගේ එකතුවෙන් දුරාචාරයෙන් මුසපත් වූ දේශය යළි ගොඩනැඟීමේ උදාර අරමුණ ඇතිව "සදාචාරය ජාතියක සෞභාග්‍යය උදාකරයි" යන තේමාව යටතේ "ජනවිජය පදනම" ආරම්භ කෙරිණ. රටපුරා ජනවිජය පදනමේ ශාඛා සංවිධාන බිහිවීමත් සමඟ දේශපාලන පක්‍ෂ බියෙන් සලිත වන්නට විය. අනගාරික ධර්මපාලතුමා, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමිගෙන් නැවතුණු සිංහල ජාතික ව්‍යාපාරයට උන්වහන්සේ නායකත්වය දෙන්නට වූහ. ඒ සඳහා "ජනවිජය පුවත්පත" ද ආරම්භ කෙරිණි. මේ නිසාම පවත්නා රජයන් සෝම හිමිට නොයෙක්‌ උපක්‍රම මගින් පහර දෙන්නට විය. මූලධර්මවාදීන්ට මතවාදීව දැඩි ලෙස දුන් පහර නිසාම ඔවුහු පසුබසින්නට වූහ. ඔවුන්ගේ අවසාන තීරණය වූයේ සිංහලයන්ට නායකත්වය දෙන සෝම හිමියන් ගේ ගමනට බාධා පැමිණවීමයි. මේ පිළිබඳ සෝම හාමුදුරුවන් ප්‍රකාශ කළේ බුදුන් වහන්සේද මාර පරාජය කළ බවත් ජාතිය වෙනුවෙන් ශාසනය වෙනුවෙන් ජීවිතය පුදා හෝ රකින බවත්ය.

කාලීන අවශ්‍යතා අනුව හැඩ නොගැසෙන සංඝ සමාජය වෙත ද උන්වහන්සේගේ ඇඟිල්ල දිගු විය. දූෂිත දේශපාලනය තමාට අභියෝගයක්‌ බව දැනගත් සෝම හිමියෝ රටේ මෙතෙක්‌ පැවැති ජාතික ව්‍යාපාරයන් නව මාවතකට ගොනුකරමින් ජාතික සංඝ සම්මේලනය වැනි සංවිධාන සමඟ සහජීවනයෙන් කටයුතු කිරීමට සූදානම් වූහ. රට බේරාගැනීමට අවශ්‍ය නම් ජනාධිපති ධූරයට වුවත් යෑමට සූදානම් බව සෝම හිමිපාණන් පැවසමින් භික්‍ෂුන් වහන්සේලාගේ මැදිහත් වීම මත පදනම් වූ නව සදාචාර සම්පන්න දේශපාලනයක්‌ ගැන ඉඟි කළේ ඓතිහාසික නුවර දළදා මාළිගාව ඉදිරිපිට පැවැත්වූ දේශනයේදීය. "අපි කීප නමක්‌ අපවත් වී හෝ මේ ජාතිය බේරා ගත යුතුයි" යෑයි උන්වහන්සේ එදා පැවැසූහ.



දැයෙන් සමුගැනීම
රට දැය සසුන සුරකින්නට ඉදිරි වැඩපිළිවෙළක්‌ සකසමින් සිටි මොහොතක සෝම හිමිපාණන්ගේ ගුරුදේවයානෝ වූ අති පුජ්‍ය මඩිහෙ පඤ්ඤාසීහ මහා නා හිමිපාණෝ ගිලන්ව අපවත් වූහ. මහානායක හිමියන්ගේ අපවත් වීමත් සමඟම සෝම හිමියෝ හිතවතුන් ලෙස පෙනී සිටි ගිහි පැවිදි පිරිසගේ කටයුතු නිසා දැඩි සිත් තැවුලකින් පසු වූහ. ඒ අතරවාරයේදී සෝම හිමිපාණන් විසින් රචනා කරන ලද "බුද්ධ ස්‌ථූප" ග්‍රන්ථය අරභයා උන්වහන්සේ වෙත පිරිනමන්නට යෝජිත දර්ශන විද්‍යා ආචාර්ය උපාධිය ලබාගැනීමට 2003 වසරේ ඔක්තෝම්බර් 3 වනදා රුසියාවට වැඩම කරන ලෙසට රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි International University of Fundamental Studies විශ්ව විද්‍යාලයෙන් ආරාධනා කෙරිණ. සෝම හිමිපාණන් රුසියාවට වැඩමකරවීම හා උපාධි පිරිනැමීම පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබුවේ එම විශ්ව විද්‍යාලයේ කුලපති ශ්‍රී ලාංකික මහාචාර්ය ශාන්ති පී. ජයසේකර (Mahatma Shanti P. Jayasekara) මහතා විසිනි. පවතින පීඩාකාරී වාතාවරණයෙන් මිදී යම් වෙනසක් බලාපොරොත්තුවෙන් රුසියාවට වැඩම කිරීමට සෝම හිමිපාණෝ තීරණය කළේ සතියක කාල සීමාවකටයි. එනමුදු රුසියාවට වැඩම කළ මොහොතේම අනපේක්‍ෂිත ලෙස රෝගාතුරවූ සෝම හිමි රෝහල් ගත කරනු ලැබූ බව කියවේ. සෝම හිමිපාණන් වෙත ආචාර්ය උපාධිය පිරිනමන ආකාරය පිළිබඳ අදාල විශ්ව විද්‍යාලයෙන් වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත්ව තිබේ.

මහාචාර්ය ශාන්ති පී. ජයසේකර විසින් youtube වෙත එක් කරන ලද්දකි. 

වෛද්‍යවරුන්ගේ උපදෙස්‌ මත ප්‍රතිකාර ලබමින් මාස 3 ක්‌ රෝහල්ගත වී සිටීමට උන්වහන්සේට සිදු විය. රෝහල්ගත කරන සිටින අතරවාරයේ ඇති වූ දරුණු හෘදයාබාධයක් හේතුවෙන් 2003 දෙසැම්බර් 12 දින සෝම හිමිපාණෝ අපවත් වූහ. නොසිතූ මොහොතක, නොසිතූ ලෙසකට දුරු ඈත සීතල රටකදී සෝම හිමිපාණන්ගේ හදිසි අපවත් වීම දරාගත නොහැකිව බෞද්ධ ලෝකයා කම්පා වෙන්නට විය. ජාතියේ රන් ස්‌වරය නැති සොවින් සියලු ලක්‌ දරුවෝ කම්පාවට පත්වූහ. පුරා සතියක්‌ සෝම හිමිගේ දේහය ගෙන්වා ගැනීමට නොහැකි වූ පාලකයන් ප්‍රතික්‍ෂේප කරමින් සෝම හිමි නාමය වෙනුවෙන් සිංහලයා එකතුවන්නට පටන් ගත්හ. රුසියාවේ ජීවත්වන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු හා රුසියානු ගුවන් සේවය වූ 'එරොප්ලොට්' ගුවන් සේවාවේ ඒජන්ත ආචාර්ය ධර්මදාස වික්‍රමගේ මහතාගේ මැදිහත්වීමෙන් ඔහුගේ ගුවන් සේවා සමාගමේ ගුවන් යානයකින් උන්වහන්සේගේ දේහය සිරිලකට වැඩම කෙරිණ. ඉන් පසු ඉමහත් හරසර මැද දේහය මහරගම වජිරඥාන ධර්මායතනයට වැඩම කෙරිණ. 2003 දෙසැම්බර් 24 වැනිදා නිදහස්‌ චතුරශ්‍රයේදී දස දහස්‌ ගණනක මහ සඟරුවනද ලක්‍ෂ සංඛ්‍යාත මහජනයා සහ ජාතියේම දුක්‌ සෝ සුසුම් මැද බෞද්ධ රාජ්‍යයක්‌ උදෙසා ජාතිය පෙළගස්‌වමින් මහපොළොවද කම්පා කරමින් සෝම හිමිපාණෝ දැයෙන් සමුගත්හ.

සෝම හිමිපාණෝ තමන් වහන්සේගේ අන්තිම කැමැති පත්‍රය අවසන් කර ඇති වගන්තිය පවා බෞද්ධයන්ට ධර්ම දේශනයක්‌මය. එනම්, 
"ජීවිතයේ අවසානය කොතැනක සිදුවේ දැයි කාහට කිව හැකිද? 
සසරින් මිදීම ගැන සිතා අප්‍රමාදව කටයුතු කරන මෙන් සෑම දෙනාගෙන් ඉල්ලා සිටිමි. මීට මෙත් සිතැති ගංගොඩවිල සෝම ස්‌ථවිර".





Saturday, June 2, 2018

සීදූව සකුරා සහ සීදූව බ්‍රාවෝ අතීත කතාව


සීදුව සකුරා
1991 අවුරුද්දේ මාර්තු මාසෙ 06 වැනිදා සීදුව නගර සභා ක‍්‍රීඩා ක‍්‍රීඩාංගණයේදී දොරට වැඩිය ”සීදුව සකුරා” බෑන්ඞ් එක ලංකාවෙ තියෙන ලොකුම බෑන්ඞ් කීපය අතරින් ඉස්සරහින්ම තියෙන බෑන්ඞ් එකක්. බෑන්ඞ් ලෝකෙ පැත්ත ගියත් ඇත්ත කතාකරන, කලාකරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන්  ඕනෑම වෙලාවක  ඕනෑ දෙයක් කරන්න පසුබට නොවෙන ”හිත හොඳ කෙලින් මිනිහෙක්” කියලා ජනප‍්‍රිය ”අජිත් විතානගේ” තමයි සීදුව සකුරා බෑන්ඞ් එකේ නායකයා, මැනේජර් වගේම අයිතිකාරයා වෙන්නෙ. බෑන්ඞ් එකේ අයිතිකාරයාගෙයි, ගමේ නමයි මුලට දාලා බෑන්ඞ් හදන එක අපේ රටේ ලයිව් බෑන්ඞ් සම්ප‍‍්‍රදායක්නෙ. ඒ හින්දා මේ බෑන්ඞ් එකේ නම ”අජිත් විතානගේ ප‍්‍රමුඛ සීදුව සකුරා” කියලා කිව්වොත් තමයි හරියටම හරි. පටන් ගත්තු දා ඉඳලා අද වෙනකල් රටේ අස්සක් මුල්ලක් නෑර ප‍්‍රසංග වලට සහභාගී වෙලා, ටීවී රේඩියෝ වලින් රටටම පෙන්න ඇහෙන්න වැඩ පෙන්නලා විතරක් නෙමෙයි 1995 අවුරුද්දේ බහරේන් රටෙන් පටන් ගත්තු සීදුව සකුරා විදේශ සංචාර ලැයිස්තුවයි එක්ක මේ වෙද්දි සීදුව සකුරා වැඩ පෙන්නපු වාර ගණන අජිත්ගෙ හිසේ කෙස් ගාණට වඩා ටිකක් අඩු ඇති. කාලෙන් කාලෙට එක එක පෙරළි කරපු සීදුව සකුරා බෑන්ඞ් එකේ නියාමක ගායන ශිල්පියා ලංකාවේ තරුණ තරුණියන් අතර ගොඩාක් ජනප‍්‍රිය, විරහ ගීත රිගින් ටෝන් කප්පිත්තෙක්. එයා තමයි ”ජූඞ් රොගන්ස්”. වේග රිද්ජමයේ ගායකයෙක් විදිහට ප‍්‍රසංග වේදිකා සංගීත ලෝකෙ ප‍්‍රසිද්ධ ”චන්දන හෙට්ටිආරච්චි”ත් සීදුව සකුරා ගායන බලඇණියේ ඉන්නවා.


සීදුව බ‍්‍රාවෝ
ලොකු බෑන්ඞ් අයිතිකාරයෝ තව පොඩි බෑන්ඞ් එකකුත් හදාගන්න එක ගොඩාක් වෙලාවට අපේ රටේ ප‍්‍රසංග වේදිකා සංගීත සම්ප‍්‍රදායේ පේන්න තියෙන දෙයක්නේ. සීදුව සකුරා කට්ටියටත් එහෙම බෑන්ඞ් එකක් තියෙනවා. ඒ තමයි ”සීදුව බ‍්‍රාවෝ”. දවස් තුනක් තිස්සේ දක්ෂ වාදකයින් තුන්සියක් විතර ඉන්ටර්වීව් කරලා, ෆයිනල් ඉන්ටර්වීව් එකෙත් වට තුනකින් තෝරලා බේරලා ගත්තු කට්ටියකින් තමයි අජිත් ”සීදුව බ‍්‍රාවෝ” බෑන්ඞ් එක හැදුවේ. 2013 අවුරුද්දේ ජූනි 29 වැනිදා ”සීදුව බ‍්‍රාවෝ” වැඩ ඇල්ලූ‍වෙත් සීදුව සකුරා කට්ටිය වැඩ අල්ලපු සීදුව නගර සභා ක‍්‍රීඩා ක‍්‍රීඩාංගණයේදී. ඒ ගායක ගායිකාවෝ අසූ දෙනකුට වඩා ගෙන්නලා, ඒ වගේම නිවේදක නිවේදිකාවෝ විසිනම දෙනකුත් ඩාන්සින් ටීම් පහළොවකුත් එකතුකරගෙන කරපු අති දැවැන්ත ප‍්‍රසංගයකින්. අවුරුදු 2ක් ගතවෙද්දි සීදුව බ‍්‍රාවෝ අපේ රටේ අලූ‍ත් සංගීත කණ්ඩායම් අතර ඉස්සරහටම ඇවිත් ඉන්නේ අජිත්ගෙ මැනේජ්මන්ට් එකයි බ‍්‍රාවෝ කොල්ලන්ගෙ දක්ෂතාවයයි කියන දෙකම එකට හොඳට ගැළපිලා ගිය නිසයි.

ඒ මම රිවිර පත්තරේට freelance ලියපු ලිපියක්. (2015/11/16 සඳුදා)

මේ යන විදිහට බෑන්ඩ් එක ඉස්සරහට ගෙනියන්න මගෙ කැමැත්තක් නෑ! - සන්ෂයින් නායක ලාල් විතානගේ


1962 අවුරුද්දේ මැයි මාසෙ 31 වැනිදා ඉපදුනා ලංකාවෙ බෑන්ඩ් කලාවේ දැවැන්තයෙක්. හිච්චි එකා කාලෙ ඉඳලා කොල්ලා සිංදු කියන්න දක්ෂ නිසා ගමේ අහල පහළ අයගෙ පොඩි පොඩි සාජ්ජ, විනෝද චාරිකා වගේ දේවල්වලටත් ආරාධනා ලැබුණා. මාමලගෙ ගෙදරදි අතපත ගාලා ටික ටික කොල්ලා ගිටාර් ඉගෙන ගන්න පටන් ගන්නකොට කොල්ලට වඩා ලොකුයි ගිටාර් එක. මව් පාර්ශවේ ඇත්තො සංගීතෙට බර නිසාත් මාමා හොඳ සංගීතකාරයෙක් නිසාත් උපතින් උරුම වෙච්ච හැකියාවත් හින්දා යමක් කමක් තේරෙන කාලෙ ඉඳලාම පොතපතට වඩා කොල්ලා ආසා කළේ සංගීතෙට. කොල්ලගෙ ඥාති සහෝදයාත් ජාඩියට මූඩිය වගේ යසට පෑහුණා, ජෝඩුව නිවාඩු වෙලාවක් ලැබුන ගමන් කළේ සාජ්ජ දාපු එක. ඔය අල්ලපනල්ලෙ කොල්ලා කොහොමෙන් කොහොම හරි කුරණ ශාන්ත ආනා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ කරගත්තෙත් ගෙවල්වල කරච්චලේට මිසක් කොල්ලාගෙ  ඕනෑකමකට නෙමෙයි. ඉස්කෝලෙට ආයුබෝවන් කියලා, 1979 දී දෙයියනේ කියලා අපේ කොල්ලා බෑන්ඞ් එකක් පටන් ගත්තා. එතැන ඉඳලා විස්තරේ මම කියනවාට වඩා, අදාල පුද්ගලයාගෙන්ම අහන එක හොඳයි නේද?

රිවිර පත්තරේ ෆුල්ටයිම් වැඩකරන කාලෙ නම් ඔෆිස් එකෙන් ෆොටෝග‍්‍රැෆර් කෙනෙක්ව අල්ලන් වාහනයක් දාගෙන යන්න තිබ්බා. දැන් ඉතින් එහෙම බෑනෙ, මේ මම ෆ‍්‍රීලාන්ස් විදිහට ලියන පළවෙනි ආටිකල් එක. ෆොටෝග‍්‍රැෆර් වැඬේට කටුනායක තැපැල් කන්තෝරුවේ වැඩකරන මගෙ ඉස්කෝලෙ බැචා සමීරව අල්ලගන්න බැලූවා, කොහෙද මිනිහට නිවාඩු නෑලූ. පෙන්ඩ‍්‍රයිව් එකත් සාක්කුවට දාගෙන උඩුගම්පොළ හංදියෙන් රුපියල් 100ක පෙට‍්‍රල් ගහගෙන මම ගියා කුරණට. කුරණ ඉස්ටේෂමට කිට්ටු කරලා ඇහුවා ”සන්ෂයින් ලාල් අයියගෙ ගෙවල් කොහෙද” කියලා, නිවැරදිව නිරවුල්ව ලැබුණ මග පෙන්වීමට අනුව ආවා ගමනාන්තයට. බාස්ලා එළියෙ වැඩ, සද්දෙට ටයිල් කපනවා, ගෙදර ලොකු වැඩක්. මම ආපු විත්තිය ගැන බාස්ලා දැනුම් දීලා ලාල් අයියගෙ ආදරණීය බිරිඳ ආවා. ”අක්කෙ මම රිවිර පත්තරෙන්”, ”වාඩිවෙන්න මල්ලි” කියාගෙන එසැණින් අක්කා ගෙට ගියා, ලාල් අයියා ආවා. ”ඉස්සර එහාපැත්තෙන් පාර තිබ්බෙ. මේ කෑල්ලක් අලූතෙන් හදලා මේ පැත්තෙන් එන්න පාර හැදුවා, මෙහෙන් ළඟයි”. ලංකාවේ ප‍්‍රසංග වේදිකාවෙ පුරෝගාමියෙක්, ප‍්‍රවීණයෙක්, දැවැන්තයෙක් එක්ක කතාබහකටයි මේ මුලපුරන්න හදන්නෙ. ලාල් විතානගේ, සන්ෂයින් බෑන්ඞ් එකේ නායකයා එක්ක ”රිවිර ලයිව් බෑන්ඞ් ෂෝ” වෙනුවෙන් කරපු කතාබහයි මේ.

ලාල් අයියගෙ පළවෙනි බෑන්ඞ් එක මොකක්ද?
1979 දි මමයි මගේ ඥාති සහෝදරයා, රෝයි කාරිකරවනයි එකතු වෙලා ”සුපර් රිදම්” කියලා බෑන්ඞ් එකක් පටන් ගත්තා. මීගමුවේ කුවින්ටස් අයියා තමයි බෑන්ඞ් එක කළේ. හලාවත මූදු වෙරළෙදි තමයි අපි පළවෙනි ෂෝ එක කළේ. මර්වින් මිහිඳුකුල, ඩෙස්මන් රොඞ්‍්‍රගෝ, බයිලා සැන්ටි වගේ ජනප‍්‍රිය ගායකයො ආවා එදා. ඒ කාලෙ අද වගේ වැඩිය බෑන්ඞ් තිබ්බෙ නෑ, ජිප්සීස්, සියැක්, අර්නස්ට් සොයිසාගෙ සුපර්ස්ටාර්, සුපර් තරංගා වගේ බෑන්ඞ් කීපයක් තමා තිබ්බෙ. 1982 දි අපේ ඩ‍්‍රම්ස් ගහපු මෛත‍්‍රී තමයි සුපර් රිදම් කියන නම වෙනස් කරමු කියලා යෝජනා කළේ. එයාම තමයි සන්ෂයින් කියලා නම දැම්මෙ.

සන්ෂයින් නමින් කවදද පළවෙනි ෂෝ එක කළේ?
ම්.. 82 දිම තමයි, බඩල්ගම පල්ලියෙ මංගල්ලෙට තමයි ප්ලේ කළේ.

සන්ෂයින් ආරම්භක සාමාජිකයන්වත් මතක් කරමු.
මම තමයි රිදම් ගැහුවේ. රෝයි කාරියකරවන ලීඞ්, මෛත‍්‍රී ඩ‍්‍රම්ස්, බන්චි පීරිස් බේස්, පැටි‍්‍රක් කීබෝඞ්. ඒ කාලෙ දැන් වගේ ඔක්ටොපෑඞ් තිබ්බෙ නෑනෙ. ශෙරිඩන් කුරුප්පු, නිහාල් බොලොන්ඥෙ ගායකයො විදිහට වැඩ කළා. ඒ කාලෙ බෑන්ඞ්වල අද වගේ ගායකයො මහ ගොඩක් නෑ, ප්ලේයර්ස්ලා හැමෝම සින්ග් කළා.

සන්ෂයින් කිව්වාම ලංකාවේ අනිත් බෑන්ඞ්වලට ප්ලේයර්ස්ලා හදලා දීපු බෑන්ඞ් ෆැක්ටරියක් විදිහටත් ප‍්‍රසිද්ධයි. කවුද ඉස්සෙල්ලාම සන්ෂයින් දාලා ගියේ?
1983 දි කීබෝඞ් ගහපු පැටි‍්‍රක් අයින් වුණා. එදා ඒ අඩුපාඩුවට දැන් ඇරෝස්ටාර් කරන ඇන්ටන් පෙරේරාව කීබෝඞ් ගහන්න ගත්තා. 85 විතර වෙද්දි ඩ‍්‍රම්ස් ගහපු මෛත‍්‍රී රට ගියා. ඒ වෙනුවට මම කෙනෙක් හොයද්දි ඇන්ටන් කිව්වා එයාගෙ මල්ලි රොෂාන්ව ටිකක් බලමුද කියලා. රොෂාන් පෙරේරා එතකොට ඉස්කෝලෙ යන පොඩි එකා. රොෂාන් ඩ‍්‍රම්ස් ගහන හැටි බලන් හිටපු මට තේරුණා කවදා හරි මිනිහා හොඳ වැඩකාරයෙක් වෙනවා කියලා. සන්ෂයින් ගහන්න පටන් අරන් අවුරුදු 3කට විතර පස්සෙ තමයි රොෂාන්  ඕලෙවල් කළෙත්. ටික කාලෙකට පස්සෙ රෝයි අයින් වෙලා ගැලැක්සීස් බෑන්ඞ් එකට ගියා. හැමදාම මම කළේ ආධුනිකයෙක්ව අරගෙන පුහුණු කරලා හොඳට හදලා අරගෙන වැඩට දාපු එක. ආධුනිකයෙක් ගත්තාම වැරදි පෙන්නලා දීලා අඩුපාඩු හදලා එයාගෙ හැකියාව හරියට එළියට අරන් පොලිෂ් කරලා ගන්න පුළුවන්. වැඩ දාන්න පුළුවන් වෙච්ච ගමන් එහෙම හැදිච්ච කට්ටිය මාව දාලා වෙන වෙන බෑන්ඞ්වලට ගියා. එදත් ගියා, හෙටත් යාවි. ගියා කියලා මම දුක් වෙන්නෙත් නෑ, යාවි කියලා මම බය වෙන්නෙත් නෑ. ඒ වගේම ගිය මිනිස්සුන්ව මම ආයෙ ආවට ගන්නෙත් නෑ. ගිය අය ගැන, යන්න ඉන්න අය ගැන මගේ තුන් හිතකවත් කිසි අහිතක් නෑ අපි කවුරුත් කරන්නෙ මිනිස්සු සතුටු කරන උතුම් රස්සාවක්නෙ, යන අය යන්නෙ ඒ අයගෙ සතුට හොයාගෙන නෙ. මම කියන්නෙ ගිය තැනක සතුටෙන් ඉන්න කියලයි. දැන් ලංකාවේ තියෙන ප‍්‍රසිද්ධ බෑන්ඞ් හැම එකකම වගේ සන්ෂයින් හදපු මිනිස්සු ඉන්නවා. ඒ දිහා බලලා මම ගොඩාක් සතුටු වෙනවා. කට්ටිය ගියා කියලා සන්ෂයින් කවදාවත් නවත්තලාත් නෑ, නවත්තන්නෙත් නෑ.

සන්ෂයින්ලා රට සවාරි එහෙම ගිහින් ඇති නේද  ඕනෑ තරම්?
ඔව්. සන්ෂයින් අපි ඉස්සෙල්ලාම ගියේ ඩුබායි. ඒ 1991 දි. මේ වෙනකොට සන්ෂයින් ලෝකෙ පුරාම කරක් ගහපු බෑන්ඞ් එකක්.
 
ගායකයෙක් විදිහට වෙනම ගමනක් යන්නෙ නැත්තෙ ඇයි?
කවදාවත් මට ආටිස්ට් කෙනෙක් වෙන්න  ඕනෑ, නමක් හදාගන්න  ඕනෑ කියලා ආසාවක් තිබිලා නැහැ. බෑන්ඞ් එකටයි මම මුල් තැන දුන්නෙ. අදටත් එහෙමයි. සන්ෂයින් බෑන්ඞ් සිංදු වෙනුවෙන් කරපු සංගීත තොටිල්ල කැසට් එකේ මගෙ සිංදු කීපයකුත් තිබ්බා. ”මා නෙතු හඬවා” සිංදුවට තාමත් හොඳ රසික ප‍්‍රතිචාර ලැබෙනවා. අඳුරනම කෙනෙක් කතා කළොත් විතරයි ගායකයෙක් විදිහට අදටත් යන්නෙ. මගේ ආසම ගායකයෙක් තමයි මර්වින් මිහිඳුකුල. මර්වින් මිහිඳුකුල කියපු මායා සිංදුව හදපු ජිප්සීස් සුනිල් අයියගෙන් අවසර අරන් ඒ සිංදුව මම දැන් කියනවා. මර්වින් මිහිඳුකුලගෙ සිංදුවක් කියන්න කියලා ෂෝ වලදි නොවැරදීම මට ඉල්ලීම් ලැබෙනවා.

බෑන්ඞ් එකෙන් කරපු කැසට් ගැනත් ඒ ගමන්ම කියමු.
1992 දි කරපු ”සංගීත සැප” තමයි පළවෙනි කැසට් එක. සංගීත තොටිල්ල, සංගීත තරු, සංගීත තාරුකා වගේ කැසට් 35ක් විතර මේ වෙද්දි කරලා තියෙනවා.

මුල් කාලෙ බෑන්ඞ් ජීවිතේ කොහොමද?
ඉස්සර දැන් වගේ කෝල් කරලා ෂෝ බුක් කරන්න බැහැනෙ. මම ෂෝ එකකට ගිහිල්ලා පාන්දර ජාමෙට ගෙදර එද්දි ෂෝ ඔර්ගනයිසර්ලා දෙතුන්දෙනෙක් ගෙදර සාලෙ තැන් තැන්වල නිදි කිරනවා. සමහර දාට උදේ වෑන් එකට නැග්ගාම ආයෙ මාසෙකට විතර පස්සෙ තමයි ගෙදර එන්නෙ, ඒ තරම් රට වටේම වැඩ. දැන් වගේ මහා ඝෝෂාවක් නැහැ ඒ කාලෙ ෂෝ වල, මිනිස්සු බොහොම නිවී හැනහිල්ලෙ ෂෝ බැලූවා. දැන් වගේ වලි, කචල් ඒ කාලෙ හරි අඩුයි. මුල් කාලෙ මතක් වෙද්දි දැන් බෑන්ඞ් ගැහිල්ල එපා වෙනවා තියෙන විකාර දැක්කාම.

එපා වෙනවා කියන්නෙ සන්ෂයින් නවත්තන්නද හදන්නෙ?
නෑ! මේ යන ඉලෙක්ට්‍රොනික් ඝෝෂාවෙන් සන්ෂයින් බෑන්ඞ් එක වෙන පැත්තකට ගෙනියන්න දැන් කාලෙ ඇවිත්. ගිය සෙනසුරාදා අපි ඉන්ඩෝ එකෝස්ටික් ෂෝ එකක් කළා. සෑහෙන්න හොඳ ප‍්‍රතිචාර තියෙනවා. 2016 අවුරුද්දෙදි සන්ෂයින් එකෝස්ටික් වෙනසත් එක්ක අලූත් ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. මියුසික් ලෝකෙ චක‍්‍රයක් වගේ. අපි පටන් ගත්තු කාලෙ එකෝස්ටික් තිබ්බා, පස්සෙ ඉලෙක්ට්‍රොනික් ඇවිත් එකෝස්ටික් යටපත් වුණා. දැන් ආයෙත් බෑන්ඞ් එකෝස්ටික් පැත්තට යන්න උත්සහ කරන එක හොඳ දෙයක්. 

සන්ෂයින් අන්ප්ලග් වෙනවට මිනිස්සු කැමති වෙයිද?
(සිනා) අන්ප්ලග් (සිනා) ලංකාවෙ අන්ප්ලග් කියලා ගහන්නෙ ප්ලග් ගහගෙන නෙ. අන්ප්ලග් කියන එකේ හරි තේරුම ප්ලග් ගහන්නෙ නැතුව, ඒ කියන්නෙ විදුලියට සම්බන්ධ කරන්නෙ නැතුව කියන එකනෙ. කෝ ඉතින් එහෙම ෂෝ ගහනවා අපි දැකලා නෑනෙ (සිනා) කොන්ගො බොන්ගො ඩොල්කි තබ්ලා දාල, බොක්ස් ගිටාර්, පියානෝ දාලා ඒවාට ප්ලග් ගහලා මයික් දාලා කළාම කොහෙද අන්ප්ලග් වෙන්නෙ. ලංකාවෙ අන්ප්ලග් හරි විදිහට කළා කියමුකො, කවුද එතකොට සින්ග් කරන්නෙ. දැන් ඉන්න ඔය එක ගායකයෙක්ට මයික් එකක් නැතුව සින්ග් කරන්න පුළුවන්ද? මියුසික් ටික නම් අන්ප්ලග් විදිහට ඇහෙයි, ගායකයා කට හොල්ලනවා වගේ  ඕඩියන්ස් එකට පෙනෙයි. 100%ක් අන්ප්ලග් වැඩක් කරනවා නම් සින්ග් කරන්න පුළුවන් එකම එක මිනිහයි ලංකාවෙ ඉන්නෙ. ඒ ජිප්සීස් සුනිල් පෙරේරා. සුනිල් අයියගෙ වොයිස් එක මයික් නැතත් ලස්සනට පැහැදිලිව ඈතට ඇහෙනවා. අනේ සන්ෂයින් අපිට නම් අන්ප්ලග් ගහන්න අදහසක් නෑ (සිනා) අපි ප්ලග් ගහගෙන එකෝස්ටික් ගහන්න තමයි හිතාගෙන ඉන්නෙ. මිනිස්සු අකමැති වෙන එකක් නෑ, මේ යන විදිහට බෑන්ඞ් එක ඉස්සරහට ගෙනියන්න මගෙ කැමැත්තකුත් නෑ.

සන්ෂයින් බෑන්ඞ් එකේ දැන් ඉන්න කට්ටියව මතක් කරමු.
ලීඞ් ගහන්නෙ මගෙ අක්කගෙ පුතා සුපුන් පෙරේරා. කීබෝඞ් අමිල මුතුගල, බේස් චමින්ද මිරිහාන, ඔක්ටොපෑඞ් කැළුම් රෝජ්, රිදම් දීපාල්, ඩ‍්‍රම්ස් රංග. මාත් එක්ක සින්ග් කරනවා චාරුෂාන්, මුතූ හංස, ජේනු.

ලංකාවේ බෑන්ඞ් කලාවේ පුරෝගාමියෙක් විදිහට ලාල් අයියා අලූත් අයට දෙන පණිවිඬේ මොකක්ද?
අලූත් අය ක්ෂේත්‍රෙට එන එක, අලූත් බෑන්ඞ් හැදෙන එක හොඳයි. හැබැයි පැවැත්මක් තියෙන්නෙ සංගීතෙ හදාරලා විනයක් ඇතුව පිළිවෙළකට ඉස්සරහට ආවොත් විතරයි. අලූත් අය ස්ටේජ් උඩ කිසි බයක් හැකක් නැතුව, ලැජ්ජා නැතිව වැරදි කරනවා අනන්තවත්. අපි මෙච්චර පරණ වෙලාත් තාම ස්ටේජ් එකට නගින්න කලිනුත්, නැග්ගට පස්සෙත් අපි කරන කියන දේ ගැන 100%ක් හොඳ අවධානයෙන් ඉන්නෙ. වගකීමක් ඇතුව භාරගත්තු දේ හරියට කරන්න, තාක්ෂණෙන් අඩු පාඩු වහගෙන රසිකයො රවට්ටලා බොරු කරන එක හැමදාම කරන්න බැහැ කියලා මතක තියා ගන්න. අපිට මැරෙනකල්ම ඉගෙන ගන්න දේවල් තියෙනවා. තමන් කරන දේ ගැන ඉස්සෙල්ලා හරියට ඉගෙන ගන්න, අලූත් දේවල් හොයන්න, ප‍්‍රවීණයන්ට ගරු කරන්න. එතකොට කාටවත් වරදින්නෙ නෑ.

රසිකයෙක්ට සන්ෂයින්ලාට කතා කරන්න හිතුනොත්?
071 4007160 අංකෙට කෝල් එකක් දෙන්න කියන්න. නැත්නම් කුරණ ස්ටේෂන් එක කිට්ටුවට ඇවිත් සන්ෂයින් ලාල්ලාගෙ ගෙවල් කොහෙද කියලා අහන්න කියන්න.

විශේෂ ස්තුතිය: ෆොටෝ හොයලා දීපු සන්ෂයින් රිදම් ගිටාර් වාදක දීපාල් (ඩෙෆා)ට

ඒ මම රිවිර පත්තරේට freelance ලියපු ලිපියක්. (2015/11/23 සඳුදා)