Friday, July 13, 2018

ජීවත්වීමේ කලාව දැනගන්න විපස්සනාවට හුරුවෙන්න

"ඇත්ත ඇති සැටියෙන් දැකීම" යන අරුත් ඇති ලබන විපස්සනා භාවනා ක‍්‍රමය ඉන්දියාවෙන් ලොවට හෙළි වූ ඉපැරණි භාවනා ක‍්‍රමයකි. අදින් වසර 2500 කට පමණ ඉහත දී ශ්‍රී ගෞතම බුදුරජාණන් වහන්සේ එය නැවත ලොවට හෙළි පෙහෙළි කොට වදාළේ "දුක්දොම්නස් වලින් මිදීමේ සර්වකාලීන ප්‍රතිකර්මයක්" ලෙසය. කරුණාවෙන් හා මෛත‍්‍රියෙන් පිරුණු සමබර මනසක් සමග එදිනෙදා ජීවිතය සාර්ථක කරගැන්මට විපස්සනාවෙන් ලැබෙන්නේ මහඟු ආලෝකයකි.

"විපස්සනා" යනු පාලි වචනයකි. එහි සංස්කෘත වචනය "විදර්ශනා" වේ. "පස්සනා" යනු "දැකීම" / "බැලීම" යන අදහස දෙයි. එහෙයින් විපස්සනා යනු විවිධාකාරයෙන් නැතහොත් විශේෂ කොට බැලීම යන්නයි. තමා හා තමා හා සබැඳි ලෝකය විශේෂ කොට බැලීම විපස්සනාව යන අරුත් දෙයි. විපස්සනා භාවනාව බුදුදහමේ ප්‍රධාන භාවනා ක්‍රම දෙක වන සමථ හා විපස්සනා භාවනා ක්‍රම දෙකෙන් එකකි. සමථ භාවනාව යනු සිත සන්සුන් කරන භාවනාවක් වන අතර, එය ලෝකයේ බොහෝ භාවනා ක්‍රම හා සමාන වේ. සමථ භාවනාවෙන් සිත එක් අරමුණක් තුළ සන්සුන් කොට "සමාධි" ය වෙත එළෙඹිය හැකි වුවද සිතේ ස්වභාවය පැහැදිලිව අවබෝධ කර ගත හැක්කේ විදර්ශනා භාවනාවෙනි. විදර්ශනා භාවනාවේදී ළඟා වන්නේ සමාධිය නොවේ "ප්‍රඥාව" යි. එහෙයින් විපස්සනාවට "ප්‍රඥා භාවනාව" යැයිද කියනු ලැබේ. විපස්සනාවෙන් සිදුකෙරෙනුයේ යථාවබෝධය ලබා සිත නැවත අකුසලයට යොමු වීම වැළැක්වීමය. එවිට චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා සසර දුකින් අත්මිදිය හැක.

ලොව සුප්‍රකට ප්‍රසිද්ධ විපස්සනා භාවනා ගුරුවරුන් රැසක් අතරේ අප රටේ මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසන විපස්සනා ගුරු පරපුරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මීතිරිගල නිස්සරණ වන සෙනසුනෙහි වැඩ හිඳ අපවත් වී වදාළ මාතර ඥානාරාම හිමි, මීතිරිගල ධම්මාවාස හිමිපාණන් සහ කටුකුරුන්දේ ඤාණනන්ද හිමිපාණන් වහන්සේලා වෙතින් ආධ්‍යාත්මික සුවය ලැබූ දෙස් විදෙස් සුපින්වතුන් ගණන මෙතෙකැයි කියා නිමකළ නොහැක. එකී විපස්සනා ගුරු පරපුරේ සුපින්වත් මෙහෙවරේ වත්මනෙහි නියැළි වැඩවසනුයේ පූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමිපාණෝය. තායිලන්තයේ අජාන් මන්, අජාන් චා, අජාන් ලී ධම්මධරෝ හිමිවරුන්ද බුරුමයේ මහාසී සයාඩෝ, පණ්ඩිත සයාඩෝ, චන්මායි සයාඩෝ ස්වාමීන්වහන්සේලාද ලොව ප්‍රකට විපස්සනා ගුරුතෙරවරු වෙති. විපස්සනා භාවනා ගුරුවරුන් අතරේ ගිහි ගුරුවරුන් වූ අප අසල්වැසි ඉන්දියාවේ ජීවත් වූ දීපා මා මහත්මිය හා එස්. එන්. ගොඑන්කා මහතා විපස්සනා භාවනාව පිළිබඳ ලොව පුරා දන නැණ පහන් දල්වන්නට සමත්වූහ. එස්. එන්. ගොඑන්කා මහතා ලොව පුරා විපස්සනා භාවනා ක්‍රමය ප්‍රචලිත කිරීම උදෙසා දිවිහිමියෙන් වෙහෙසුනු ඔබ අප වැනිම ගිහියෙකි, ගිහි උතුමෙකි.

බුරුමයේ සයාජී ඌ බා කින් තුමාගේ සම්ප්‍රදාය අනුව විපස්සනාවේ ප්‍රවීණත්වයට පත් ලොව ප්‍රකට ගිහි  විපස්සනා ගුරුවරයෙකු වන එස්. එන්. ගොඑන්කා (S. N. Goenka) මහතාගෙන් ඇරැඹි විපස්සනා ගුරු පරපුරේ මගපෙන්වීම අප රටේදීද ලැබීමේ වාසනා මහිමය පිංවත් සැමට විවරව පවතින්නේ බොහෝ කලක සිටය.

S. N. ගොඑන්කා මහතා (Satya Narayan Goenka)
(30 January 1924 – 29 September 2013)

අලුත් හුස්මකට දවස් 10ක් වෙන් කරන්න
එස්. එන්. ගොඑන්කා මහතාගෙන් විපස්සනා පුහුණුව ලත් ගුරුවරුන් වෙතින් විපස්සනා පුහුණුව ලැබීම අපේක්ෂා කරන සුපින්වතුන් ඒ සඳහා පිවිසීමේ පළමු පියවර ලෙස, දින 10 නේවාසික විපස්සනා පුහුණු වැඩසටහන වෙත යොමුවීම අපේක්ෂා කෙරේ.  එහිදී විපස්සනා භාවනා ක්‍රමය පිළිබඳව අත්‍යවශ්‍ය කරුණු පුහුණු කෙරේ. දින දහයක් තුළදී භාවනාවට සම්බන්ධ වූ පමණින්ම ඔබේ සියළු ප්‍රශ්න එකවර විසඳී යනු ඇතැයි බලාපොරොත්තු වීම යථාර්ථවාදී නොවේ. එහෙත් දින 10 ඇතුලත ලැබෙන ක්‍රමානුකූල පුහුණුව ඉන් පසු එදිනෙදා ජීවිතයේ ප‍්‍රගුණ කිරීමෙන් හා පවත්වා ගෙන යාමෙන් අනුක‍්‍රමිකව ප‍්‍රතිඵල ලබාගත හැකිය. විපස්සනාව වැඩි වැඩියෙන් වඩන්නේ නම් එ් තරමට දුකින් මිදිමත්, අවසානයේදී ක‍්‍රමක‍්‍රමයෙන් පූර්ණ විමුක්තිය කරා ළඟා වීමත් සිදු වේ. මෙම දින දහයක භාවනා වැඩසටහනෙන් ලැබෙන ප‍්‍රතිඵල පවා එදිනෙදා ජීවිතය වෙනදාටත් වඩා සාර්ථක ලෙස ගතකිරීමට සියල්ලන්ට ප‍්‍රයෝජනවත්ය.

පුහුණුවට කිසිදු අයකිරීමක් නෑ - සම්පූර්ණයෙන්ම නොමිලේ 
බුරුමයේ සයාජී ඌ බා කින් තුමාගේ සම්ප්‍රදාය අනුව එස්. එන්. ගොඑන්කා මහතාගෙන් විපස්සනා පුහුණුව ලත් ගුරුවරුන් වෙතින් විපස්සනා පුහුණුව ලැබීම සඳහා කිසිදු අයකිරීමක් නොමැත. අඩුම තරමින් ආහාරපාන හා නවාතැන් සඳහා හෝ කිසිදු ආකාරයක අයකිරීමක් සිදු නොකෙරේ.  එමෙන්ම මෙය ඉගැන්වීම සඳහා සම්බන්ධව සිටින කිසිම පුද්ගලයෙක් කිසිම ආකාරයක මූල්‍යමය හෝ ද්‍රව්‍යයමය ප්‍රතිලාභයක්ද නොලබයි. පාඨමාලාවක් සම්පූර්ණ කර විපස්සනාවෙන් ප‍්‍රයෝජන ලබා, තමන්ට ලැබුණු ඵල ප‍්‍රයෝජන අනික් අයටත් ළඟා කරගැනීමේ අවස්ථාව උදාවේවා යන සද් පැතුමෙන් සිදුකෙරෙන ආධාර පරිත්‍යාගයන් වෙතින් මේ පමණක් සියළු වියහියදම් ආවරණය කෙරේ. 

දින 10 විපස්සනා පුහුණුවකට යොමුවනු රිසි ශ්‍රී ලංකාවාසී ඔබ,

ධම්ම සෝභා විපස්සනා භාවනා මධ්‍යස්ථානය.
බාලිකා විද්‍යාල පාර, පහළ කොස්ගම, කොස්ගම
https://sobha.dhamma.org

ධම්ම කූඨ විපස්සනා භාවනා මධ්‍යස්ථානය
මහකන්ද, හිඳගල, පේරාදෙණිය.
https://kuta.dhamma.org

ධම්ම අනුරාධ විපස්සනා භාවනා මධ්‍යස්ථානය
ඉච්චන්කුලම වැව පාර, කැලැත්තෑව, කුරුන්දන්කුලම, අනුරාධපුර
https://anuradha.dhamma.org

ධම්ම ධරණී විපස්සනා භාවනා මධ්‍යස්ථානය
මානේරුව, නෑගම්පහ.
https://dharani.dhamma.org

භාවනා මධ්‍යස්ථානයක වෙබ් අඩවියකට පිවිස ලියාපදිංචි වන්න.

බුරුමයේ සයාජී ඌ බා කින් තුමාගේ සම්ප්‍රදාය අනුව එස්. එන්. ගොඑන්කා මහතාගෙන් විපස්සනා පුහුණුව ලත් ගුරුවරුන් වෙතින් විපස්සනා භාවනා සම්ප්‍රදාය ඉගැන්වෙන භාවනා මධ්‍යස්ථාන රැසක් ලොවපුරා ස්ථාපිතව ඇත. ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක භාවනා මධ්‍යස්ථාන 187 ක හා තාවකාලික කුලී පදනමට ලබාගත් ස්ථාන 140 ක විපස්සනා භාවනා පුහුණු වැඩසටහන් මෙන්ම ඒ ඒ මධ්‍යස්ථානයන්ට ආවේණික වූ සුවිශේෂී වැඩසටහන් රැසක් පැවැත්වේ.

වැඩි විස්තර සඳහා https://www.dhamma.org/en/index වෙබ් අඩවිය ඔබට මහෝපකාරීවනු ඇත.

No comments:

Post a Comment