ක්‍රිස්තු වර්ෂ 1505 දි පරංගියො අපේ රටට ඇවිත් අස්සක් මුල්ලක් විනාශ කරන්න ගත්තා. ඒ කාලේ කෝට්ටේ රාජධානි කාලෙ, රජ්ජුරුවො වුණේ අටවෙනි වීර පරාක්‍රමබාහු රජ්ජුරුවෝ. යුද්ධ ශිල්පේ ප්‍රවීණයෙක් වෙච්ච සකලකලාවල්ලභ පුත් කුමාරයාට රජකම දෙන්න රජ්ජුරුවො ලෑස්ති උණා.. අටවැනි වීර පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ බිසවගෙ සහෝදරියගෙ පුතාලුනෙ මේ සකලකලාවල්ලභ කුමාරයා.
සකලකලාවල්ලභ කුමාරයා රජකම එපා කියලා බාල මලයා තනිය වල්ලභ කුමාරයා එක්ක උඩුගම්පොළට එනවා පරංගි එක්ක යුද්ධ කරන්න. සකලකලාවල්ලභ කුමාරයා එපා කිව්ව රටේ රජකම ධර්ම පරාක්‍රමබාහු කුමාරයාට ලැබෙනවා. මීගමුව, මිනුවන්ගොඩ පැතිවල පරංගි සකලකලාවල්ලභ - තනියවල්ලභ අයියා මලෝ දෙන්නගෙ සූර වීරකම් හින්දා පැරදීලා පළා යනවා. සකලකලාවල්ලභ රජ්ජුරුවො උඩුගම්පොළ ප්‍රාදේශීය රාජධානියක් පිහිටුවලා ඒකෙ රජ වෙනවා. උතුරින් කැලණි ගඟ, දකුණෙන් මා ඔය, නැගෙනහිරින් සබරගමු මායිමත්, බස්නාහිරෙන් මහා සාගරෙත් දක්වා ඒ කියන්නෙ සියනෑ කෝරලය, හේවාගම් කෝරලය, අලුත්කුරු කෝරලය, සතර කෝරලය උඩුගම්පොළ රාජධානියට අයිති වුණා.
"සකල කලා වල්ලභ" නමේ හැටියටම රජ්ජුරුවො සකල කලාවේම දක්ෂයෙක් වගේම රාජධානියෙ හැම කලාවක්ම දියුණු කරන්න අතහිත දුන්නා. ගොවිතැන් දියුණු කරන්න ඇල වේලි හැදුවා. කර්මාන්ත දියුණු කළා. වෙහෙර විහාරාරාම ගැන හොයලා බැලුවා. රාජධානියෙ මිනිස්සුන්ගෙන් කතාවක් නාහන තැනට ලස්සනට පාලනේ සිද්ධ කළා. මිනිස්සු රජ්ජුරුවන්ට ආදර ගෞරව දැක්වූවෙ අවංකවමයි ඉතින්.
කෝට්ටෙ යුගේ අපේ රටේ ප‍්‍රධානතම කුඹුරු යායක් උනේ මුතුරාජවෙල. ඒක සකල කලා වල්ලභ රජ්ජුරුවන්ගෙ වැඩක්. මුතු වගේ හාල් ලැබිච්ච රාජකීය වෙල "මුතුරාජ වෙල" වුණා කියනවනේ. මුතුරාජවෙලට අමතරව උඩුගම්පොළ රාජධානියේ අක්කර දස දහස් ගණනක් පුරා පැතිරිච්ච රත්මලවිට, කිරිඳිවිට, මාකේවිට, අඹන්විට, තඹවිට (තම්මිට), අක්කරවිට (අකරවිට), උදම්විට (උදම්මිට) ගම්මාන වල පැවතිච්ච සරු සාර කුඹුරු යායවල් අස්වද්දන්න සකල කලා වල්ලභ රජ්ජුරුවො මහන්සි වුණා. රජ්ජුරුවන්ගෙ ප්‍රියතම වෙල් යාය වුණේ "සම්බා කෙත" වෙල් යායයි. ඒ කුඹුරු යායේ අස්වද්දා තියෙන්නේ සම්බා විතරමයි. ඒ නිසාම "සම්බාගම" වෙච්ච ඒ පැත්ත පස්සෙ "හම්බාගම" වෙලා ඊටත් පස්සෙ "හොරගොල්ල", "තිබ්බටුගොඩ" කියලා ගම්දෙකක් විදිහට අද හඳුන්වනවා.
රජවරු ඉතින් අපි වගේ තනියම නාන උදවිය නෙමේ නෙ, උන්නාන්සෙලා නාන්න යන්නේ බිසෝවරු පිරිවරාගෙන නෙ. ඉතින් උඩුගම්පොළ රජ්ජුරුවො දිය කෙළියට හදාගත්තා ජලාශයක්, ඒකට ඒකාලෙ කිව්වෙ "පතහා පොකුණ" කියලා. මේ පොකුණ හින්දා රජ්ජුරුවො මැරෙන්න ගිහිල්ලා අනූනමයෙන් බේරුණේ, හැබැයි මේ පොකුණ හින්දම තමා පස්සෙ කාලෙකදි රජ්ජුරුවන්ගෙ ජීවිතේ නැති උනෙත්.
1513 අවුරුද්දේ ධර්ම පරාක්‍රමබාහු කෝට්ටෙ රජ්ජුරුවො මළා. ඊට පස්සෙ කෝට්ටේ රාජසභාව තීරණය කරන්නේ කෝට්ටේ මීළඟ මහරජ පදවියට රණ ශූරයෙක් වෙච්ච සංවර්ධන වැඩ කටයුතුවලට දක්ෂ උඩුගම්පොළ සකලකලාවල්ලභ රජ්ජුරුවො සුදුසු බවයි. ඊට පස්සෙ කෝට්ටේ රාජ සභාවේ නියෝජිතයො උඩුගම්පොළට ඇවිල්ලා රජ පෙරහරකින් සකලකලාවල්ලභ රජ්ජුරුවන්ව කෝට්ටේ රාජධානියට එක්ක යනවා කෝට්ටේ රාජධානියේ මහරජකම පවරන්න. ඒ උනාට සකල කලා වල්ලභ රජ්ජුරුවො ආයෙත් රටේ රජකම එපා කියලා උඩුගම්පොළටම එනවා. සකල කලා වල්ලභ රජ්ජුරුවන්ගෙ රජ කතා නම් බොහෝමයි එව්වා තව කියන්න ගියොත් මේ ලිපිය තව දිග්ගැස්සෙන හින්දා ලිපියෙ ප්‍රධාන මාතෘකාවට යං හාද?
උඩුගම්පොළ රජකම ගන්න සකල කලා වල්ලභ රජ්ජුරුවන්ගෙම පුත්තු රජ්ජුරුවො මරන්න හැදුවාට මරාගන්න බැරි වුණා. රජ්ජුරුවො අඩු ගානෙ ලෙඩක් දුකක් හැදිලා වත් නෙමේ නෙ මළේ. සිය දිවි නසාගත්තානෙ. ඔව් සිය දිවි නසා ගත්තා, මං අර කලින් කිව්ව පොකුණෙ පලහිලව්වකට නෙ ඒ ඉතින්. ඒ කතාවයි පොකුණෙ වැඩි විස්තරයි ඊළඟ ලිපියෙන් ගේනකල් අහගන්නකො රජ්ජුරුවො දෙයියා වෙච්ච හැටි. හාද?
සකලකලාවල්ලභ රජ්ජුරුවන්ගෙ මරණෙන් පස්සෙ, ඒ කාලෙ කෝට්ටේ රජ්ජුරුවෝ වෙච්ච සකල කලා වල්ලභ රජ්ජුරුවන්ගේ ඥාති සහෝදරයා විජයබා රජ්ජුරුවෝ උඩුගම්පොළ ප්‍රාදේශීය රාජධානියේ භාරකාරත්වයට පත්වුණා. ඒ අතරේ උඩුගම්පොළ පැත්තට නියඟයක් ඇවිල්ලා ආහාර අහේනියක් ඇවිල්ලා ලෙඩ රෝග පැතිරෙන්න උණා. සකල කලා වල්ලභ රජ්ජුරුවො සමහර ගම්මුන්ට හීනෙන් පෙන්නුම් කළා දෙවි කෙනෙක් වෙලා මිනිස්සුන්ට උදව් කරන හැටි. සාස්තර වලිනුත් ඒක තහවුරු වුණා. ඒ හින්දා රජ්ජුරුවෝ දිවිනසාගත්ත තැන, "අස් වෙච්ච" එහෙමත් නැත්තං "බිඳී ගිය වාන ඇති තැන", "අස්වානේ" රජ්ජුරුවෝ වෙනුවෙන් දේවාලයක් හදලා තමන්ගේ ගමටත් ජීවිතවලටත් එල්ල වෙච්ච අතුරු ආන්තරාවලින් ආරක්ෂා කරලා දෙන්න කියලා ගම්මු රාජකීය දෙයියන්ට කන්නලව් කළා. ඊට පස්සෙ නියං බලපෑම අඩුවෙලා කරදර නැති වෙලා ගියා, ඒ හින්දා සකල කලා වල්ලභ රජ්ජුරුවෝ "අස්වානේ දෙවියෝ" විදිහට ප්‍රසිද්ධියට පත් වුණා.
අස්වානේ දේවාලය තියෙන්නේ උඩුගම්පොළ - මිනුවන්ගොඩ පාරේ අස්වාන හංදියෙන් හැරිලා ගියාම හම්බ වෙන අස්වානේ පිරිවෙන (ශ්‍රී ධර්මරතනෝදය පිරිවෙන) එහා පැත්තෙ. අස්වානේ දෙවියන්ට කැප වෙච්ච විශේෂ දේවාලයක් නම් අද අස්වානේ දේවාල බිමේ නෑ. හැබැයි එතන අනිත් හැම දේවාලෙකදිම දේව කන්නලව් වලදි අස්වානේ දෙවියන්වත් සිහිපත් කරලා පිහිට ඉල්ලන / පිං අනුමෝදන් කරන චාරිත්‍රෙ නම් තියෙනවා. අස්වානේ දෙවියන්ව උඩුගම්පොළ මිනිස්සුන්ට අමතක වෙලා යන්නේ බස්නාහිර පළාත පුරාම පැතිරිච්ච අති ප්‍රබල දේව ඇදහිල්ලක් වෙන ගම්භාර දෙවියො හින්දා. අස්වානෙ දෙවියො කියන්නෙත් ගම්භාර දෙවියොමයි කියලා මිනිස්සු පටළගත්ත හින්දා අද වෙද්දි අස්වානේ දේව ඇදහිල්ල "පිං දීමක් විතරක්" දක්වා වෙනස් වෙලා.
***********
ඉතිහාසයේ කතා රසවිඳින්න මම ගොඩක් ආසයි.ස්තුතියි අයියේ මතකය අවදි කලාට
ReplyDeleteස්තූතියි! ස්තූතියි! රජ්ජුරුවො නාපු පොකුණෙ විස්තර ගෙන්නම්කො ඉක්මනින්ම නගේ..
DeleteA great narrative. Thank you very much.
Deleteඇයි වීඩියෝ එක ඩිලීට් කලේ? මට තව විස්තර දැනගන්න ඕනි මෙටුමගේ සෙම්පතියන් ගැන
ReplyDeleteවල්ලඹ දෙවියන්ගේ බිසෝවරු ගැන කියන්නකෝ
ReplyDeleteකෝ නෑනේ
Delete