Friday, July 13, 2018

ජීවත්වීමේ කලාව දැනගන්න විපස්සනාවට හුරුවෙන්න

"ඇත්ත ඇති සැටියෙන් දැකීම" යන අරුත් ඇති ලබන විපස්සනා භාවනා ක‍්‍රමය ඉන්දියාවෙන් ලොවට හෙළි වූ ඉපැරණි භාවනා ක‍්‍රමයකි. අදින් වසර 2500 කට පමණ ඉහත දී ශ්‍රී ගෞතම බුදුරජාණන් වහන්සේ එය නැවත ලොවට හෙළි පෙහෙළි කොට වදාළේ "දුක්දොම්නස් වලින් මිදීමේ සර්වකාලීන ප්‍රතිකර්මයක්" ලෙසය. කරුණාවෙන් හා මෛත‍්‍රියෙන් පිරුණු සමබර මනසක් සමග එදිනෙදා ජීවිතය සාර්ථක කරගැන්මට විපස්සනාවෙන් ලැබෙන්නේ මහඟු ආලෝකයකි.

"විපස්සනා" යනු පාලි වචනයකි. එහි සංස්කෘත වචනය "විදර්ශනා" වේ. "පස්සනා" යනු "දැකීම" / "බැලීම" යන අදහස දෙයි. එහෙයින් විපස්සනා යනු විවිධාකාරයෙන් නැතහොත් විශේෂ කොට බැලීම යන්නයි. තමා හා තමා හා සබැඳි ලෝකය විශේෂ කොට බැලීම විපස්සනාව යන අරුත් දෙයි. විපස්සනා භාවනාව බුදුදහමේ ප්‍රධාන භාවනා ක්‍රම දෙක වන සමථ හා විපස්සනා භාවනා ක්‍රම දෙකෙන් එකකි. සමථ භාවනාව යනු සිත සන්සුන් කරන භාවනාවක් වන අතර, එය ලෝකයේ බොහෝ භාවනා ක්‍රම හා සමාන වේ. සමථ භාවනාවෙන් සිත එක් අරමුණක් තුළ සන්සුන් කොට "සමාධි" ය වෙත එළෙඹිය හැකි වුවද සිතේ ස්වභාවය පැහැදිලිව අවබෝධ කර ගත හැක්කේ විදර්ශනා භාවනාවෙනි. විදර්ශනා භාවනාවේදී ළඟා වන්නේ සමාධිය නොවේ "ප්‍රඥාව" යි. එහෙයින් විපස්සනාවට "ප්‍රඥා භාවනාව" යැයිද කියනු ලැබේ. විපස්සනාවෙන් සිදුකෙරෙනුයේ යථාවබෝධය ලබා සිත නැවත අකුසලයට යොමු වීම වැළැක්වීමය. එවිට චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා සසර දුකින් අත්මිදිය හැක.

ලොව සුප්‍රකට ප්‍රසිද්ධ විපස්සනා භාවනා ගුරුවරුන් රැසක් අතරේ අප රටේ මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසන විපස්සනා ගුරු පරපුරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මීතිරිගල නිස්සරණ වන සෙනසුනෙහි වැඩ හිඳ අපවත් වී වදාළ මාතර ඥානාරාම හිමි, මීතිරිගල ධම්මාවාස හිමිපාණන් සහ කටුකුරුන්දේ ඤාණනන්ද හිමිපාණන් වහන්සේලා වෙතින් ආධ්‍යාත්මික සුවය ලැබූ දෙස් විදෙස් සුපින්වතුන් ගණන මෙතෙකැයි කියා නිමකළ නොහැක. එකී විපස්සනා ගුරු පරපුරේ සුපින්වත් මෙහෙවරේ වත්මනෙහි නියැළි වැඩවසනුයේ පූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමිපාණෝය. තායිලන්තයේ අජාන් මන්, අජාන් චා, අජාන් ලී ධම්මධරෝ හිමිවරුන්ද බුරුමයේ මහාසී සයාඩෝ, පණ්ඩිත සයාඩෝ, චන්මායි සයාඩෝ ස්වාමීන්වහන්සේලාද ලොව ප්‍රකට විපස්සනා ගුරුතෙරවරු වෙති. විපස්සනා භාවනා ගුරුවරුන් අතරේ ගිහි ගුරුවරුන් වූ අප අසල්වැසි ඉන්දියාවේ ජීවත් වූ දීපා මා මහත්මිය හා එස්. එන්. ගොඑන්කා මහතා විපස්සනා භාවනාව පිළිබඳ ලොව පුරා දන නැණ පහන් දල්වන්නට සමත්වූහ. එස්. එන්. ගොඑන්කා මහතා ලොව පුරා විපස්සනා භාවනා ක්‍රමය ප්‍රචලිත කිරීම උදෙසා දිවිහිමියෙන් වෙහෙසුනු ඔබ අප වැනිම ගිහියෙකි, ගිහි උතුමෙකි.

බුරුමයේ සයාජී ඌ බා කින් තුමාගේ සම්ප්‍රදාය අනුව විපස්සනාවේ ප්‍රවීණත්වයට පත් ලොව ප්‍රකට ගිහි  විපස්සනා ගුරුවරයෙකු වන එස්. එන්. ගොඑන්කා (S. N. Goenka) මහතාගෙන් ඇරැඹි විපස්සනා ගුරු පරපුරේ මගපෙන්වීම අප රටේදීද ලැබීමේ වාසනා මහිමය පිංවත් සැමට විවරව පවතින්නේ බොහෝ කලක සිටය.

S. N. ගොඑන්කා මහතා (Satya Narayan Goenka)
(30 January 1924 – 29 September 2013)

අලුත් හුස්මකට දවස් 10ක් වෙන් කරන්න
එස්. එන්. ගොඑන්කා මහතාගෙන් විපස්සනා පුහුණුව ලත් ගුරුවරුන් වෙතින් විපස්සනා පුහුණුව ලැබීම අපේක්ෂා කරන සුපින්වතුන් ඒ සඳහා පිවිසීමේ පළමු පියවර ලෙස, දින 10 නේවාසික විපස්සනා පුහුණු වැඩසටහන වෙත යොමුවීම අපේක්ෂා කෙරේ.  එහිදී විපස්සනා භාවනා ක්‍රමය පිළිබඳව අත්‍යවශ්‍ය කරුණු පුහුණු කෙරේ. දින දහයක් තුළදී භාවනාවට සම්බන්ධ වූ පමණින්ම ඔබේ සියළු ප්‍රශ්න එකවර විසඳී යනු ඇතැයි බලාපොරොත්තු වීම යථාර්ථවාදී නොවේ. එහෙත් දින 10 ඇතුලත ලැබෙන ක්‍රමානුකූල පුහුණුව ඉන් පසු එදිනෙදා ජීවිතයේ ප‍්‍රගුණ කිරීමෙන් හා පවත්වා ගෙන යාමෙන් අනුක‍්‍රමිකව ප‍්‍රතිඵල ලබාගත හැකිය. විපස්සනාව වැඩි වැඩියෙන් වඩන්නේ නම් එ් තරමට දුකින් මිදිමත්, අවසානයේදී ක‍්‍රමක‍්‍රමයෙන් පූර්ණ විමුක්තිය කරා ළඟා වීමත් සිදු වේ. මෙම දින දහයක භාවනා වැඩසටහනෙන් ලැබෙන ප‍්‍රතිඵල පවා එදිනෙදා ජීවිතය වෙනදාටත් වඩා සාර්ථක ලෙස ගතකිරීමට සියල්ලන්ට ප‍්‍රයෝජනවත්ය.

පුහුණුවට කිසිදු අයකිරීමක් නෑ - සම්පූර්ණයෙන්ම නොමිලේ 
බුරුමයේ සයාජී ඌ බා කින් තුමාගේ සම්ප්‍රදාය අනුව එස්. එන්. ගොඑන්කා මහතාගෙන් විපස්සනා පුහුණුව ලත් ගුරුවරුන් වෙතින් විපස්සනා පුහුණුව ලැබීම සඳහා කිසිදු අයකිරීමක් නොමැත. අඩුම තරමින් ආහාරපාන හා නවාතැන් සඳහා හෝ කිසිදු ආකාරයක අයකිරීමක් සිදු නොකෙරේ.  එමෙන්ම මෙය ඉගැන්වීම සඳහා සම්බන්ධව සිටින කිසිම පුද්ගලයෙක් කිසිම ආකාරයක මූල්‍යමය හෝ ද්‍රව්‍යයමය ප්‍රතිලාභයක්ද නොලබයි. පාඨමාලාවක් සම්පූර්ණ කර විපස්සනාවෙන් ප‍්‍රයෝජන ලබා, තමන්ට ලැබුණු ඵල ප‍්‍රයෝජන අනික් අයටත් ළඟා කරගැනීමේ අවස්ථාව උදාවේවා යන සද් පැතුමෙන් සිදුකෙරෙන ආධාර පරිත්‍යාගයන් වෙතින් මේ පමණක් සියළු වියහියදම් ආවරණය කෙරේ. 

දින 10 විපස්සනා පුහුණුවකට යොමුවනු රිසි ශ්‍රී ලංකාවාසී ඔබ,

ධම්ම සෝභා විපස්සනා භාවනා මධ්‍යස්ථානය.
බාලිකා විද්‍යාල පාර, පහළ කොස්ගම, කොස්ගම
https://sobha.dhamma.org

ධම්ම කූඨ විපස්සනා භාවනා මධ්‍යස්ථානය
මහකන්ද, හිඳගල, පේරාදෙණිය.
https://kuta.dhamma.org

ධම්ම අනුරාධ විපස්සනා භාවනා මධ්‍යස්ථානය
ඉච්චන්කුලම වැව පාර, කැලැත්තෑව, කුරුන්දන්කුලම, අනුරාධපුර
https://anuradha.dhamma.org

ධම්ම ධරණී විපස්සනා භාවනා මධ්‍යස්ථානය
මානේරුව, නෑගම්පහ.
https://dharani.dhamma.org

භාවනා මධ්‍යස්ථානයක වෙබ් අඩවියකට පිවිස ලියාපදිංචි වන්න.

බුරුමයේ සයාජී ඌ බා කින් තුමාගේ සම්ප්‍රදාය අනුව එස්. එන්. ගොඑන්කා මහතාගෙන් විපස්සනා පුහුණුව ලත් ගුරුවරුන් වෙතින් විපස්සනා භාවනා සම්ප්‍රදාය ඉගැන්වෙන භාවනා මධ්‍යස්ථාන රැසක් ලොවපුරා ස්ථාපිතව ඇත. ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක භාවනා මධ්‍යස්ථාන 187 ක හා තාවකාලික කුලී පදනමට ලබාගත් ස්ථාන 140 ක විපස්සනා භාවනා පුහුණු වැඩසටහන් මෙන්ම ඒ ඒ මධ්‍යස්ථානයන්ට ආවේණික වූ සුවිශේෂී වැඩසටහන් රැසක් පැවැත්වේ.

වැඩි විස්තර සඳහා https://www.dhamma.org/en/index වෙබ් අඩවිය ඔබට මහෝපකාරීවනු ඇත.

Friday, June 29, 2018

උඩුගම්පොළ සකල කලා වල්ලභ දෙයියෝ


එකපාරටම ලිපිය කියවන්න කම්මැලි නම් උඩ video එක බලන්න, නැත්තම් කියවලා ඉවර වෙලා ඇවිත් වීඩියෝ එක බලන්නකො හාද?

ක්‍රිස්තු වර්ෂ 1505 දි පරංගියො අපේ රටට ඇවිත් අස්සක් මුල්ලක් විනාශ කරන්න ගත්තා. ඒ කාලේ කෝට්ටේ රාජධානි කාලෙ, රජ්ජුරුවො වුණේ අටවෙනි වීර පරාක්‍රමබාහු රජ්ජුරුවෝ. යුද්ධ ශිල්පේ ප්‍රවීණයෙක් වෙච්ච සකලකලාවල්ලභ පුත් කුමාරයාට රජකම දෙන්න රජ්ජුරුවො ලෑස්ති උණා.. අටවැනි වීර පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ බිසවගෙ සහෝදරියගෙ පුතාලුනෙ මේ සකලකලාවල්ලභ කුමාරයා.

සකලකලාවල්ලභ කුමාරයා රජකම එපා කියලා බාල මලයා තනිය වල්ලභ කුමාරයා එක්ක උඩුගම්පොළට එනවා පරංගි එක්ක යුද්ධ කරන්න. සකලකලාවල්ලභ කුමාරයා එපා කිව්ව රටේ රජකම ධර්ම පරාක්‍රමබාහු කුමාරයාට ලැබෙනවා. මීගමුව, මිනුවන්ගොඩ පැතිවල පරංගි සකලකලාවල්ලභ - තනියවල්ලභ අයියා මලෝ දෙන්නගෙ සූර වීරකම් හින්දා පැරදීලා පළා යනවා. සකලකලාවල්ලභ රජ්ජුරුවො උඩුගම්පොළ ප්‍රාදේශීය රාජධානියක් පිහිටුවලා ඒකෙ රජ වෙනවා. උතුරින් කැලණි ගඟ, දකුණෙන් මා ඔය, නැගෙනහිරින් සබරගමු මායිමත්, බස්නාහිරෙන් මහා සාගරෙත් දක්වා ඒ කියන්නෙ සියනෑ කෝරලය, හේවාගම් කෝරලය, අලුත්කුරු කෝරලය, සතර කෝරලය උඩුගම්පොළ රාජධානියට අයිති වුණා.

"සකල කලා වල්ලභ" නමේ හැටියටම රජ්ජුරුවො සකල කලාවේම දක්ෂයෙක් වගේම රාජධානියෙ හැම කලාවක්ම දියුණු කරන්න අතහිත දුන්නා. ගොවිතැන් දියුණු කරන්න ඇල වේලි හැදුවා. කර්මාන්ත දියුණු කළා. වෙහෙර විහාරාරාම ගැන හොයලා බැලුවා. රාජධානියෙ මිනිස්සුන්ගෙන් කතාවක් නාහන තැනට ලස්සනට පාලනේ සිද්ධ කළා. මිනිස්සු රජ්ජුරුවන්ට ආදර ගෞරව දැක්වූවෙ අවංකවමයි ඉතින්.

කෝට්ටෙ යුගේ අපේ රටේ ප‍්‍රධානතම කුඹුරු යායක් උනේ මුතුරාජවෙල. ඒක සකල කලා වල්ලභ රජ්ජුරුවන්ගෙ වැඩක්. මුතු වගේ හාල් ලැබිච්ච රාජකීය වෙල "මුතුරාජ වෙල" වුණා කියනවනේ. මුතුරාජවෙලට අමතරව උඩුගම්පොළ රාජධානියේ අක්කර දස දහස් ගණනක් පුරා පැතිරිච්ච රත්මලවිට, කිරිඳිවිට, මාකේවිට, අඹන්විට, තඹවිට (තම්මිට), අක්කරවිට (අකරවිට), උදම්විට (උදම්මිට) ගම්මාන වල පැවතිච්ච සරු සාර කුඹුරු යායවල් අස්වද්දන්න සකල කලා වල්ලභ රජ්ජුරුවො මහන්සි වුණා. රජ්ජුරුවන්ගෙ ප්‍රියතම වෙල් යාය වුණේ "සම්බා කෙත" වෙල් යායයි. ඒ කුඹුරු යායේ අස්වද්දා තියෙන්නේ සම්බා විතරමයි. ඒ නිසාම "සම්බාගම" වෙච්ච ඒ පැත්ත පස්සෙ "හම්බාගම" වෙලා ඊටත් පස්සෙ "හොරගොල්ල", "තිබ්බටුගොඩ" කියලා ගම්දෙකක් විදිහට අද හඳුන්වනවා.

රජ්ජුරුවන්ගෙ පාලන මධ්‍යස්ථානෙ / මාලිගාව තිබ්බ තැන අද මාලිගාගොඩැල්ල උත්තරාරාම විහාරය නිර්මාණය වෙලා තිබුණාට රාජ මාලිගේ නටඹුන් පන්සල් බිම පුරා දැකගන්න පුළුවන්. සකලකලා රජ්ජුරුවන්ගේ රාජ සභාව පවත්වපු තැනත් අද තියෙන්නෙ පන්සලක්, ඒ උඩුගම්පොළ - සීදූව පාරෙ ශ්‍රී සුධර්මාරාමයයි. සුධර්මාරාමෙ කියනවට වඩා පන්සල ප්‍රසිද්ධ "සභාවෙ පන්සල" කිව්වාම, ඇයි රජ්ජුරුවන්ගෙ රාජ සභාව තිබ්බ තැන නෙ පන්සල තියෙන්නෙ. අද පල්ලියවත්ත කියන හරියෙ තමයි රජ්ජුරුවන්ගෙ මඟුල් මඩුව තිබිලා තියෙන්නෙ.

රජවරු ඉතින් අපි වගේ තනියම නාන උදවිය නෙමේ නෙ, උන්නාන්සෙලා නාන්න යන්නේ බිසෝවරු පිරිවරාගෙන නෙ. ඉතින් උඩුගම්පොළ රජ්ජුරුවො දිය කෙළියට හදාගත්තා ජලාශයක්, ඒකට ඒකාලෙ කිව්වෙ "පතහා පොකුණ" කියලා. මේ පොකුණ හින්දා රජ්ජුරුවො මැරෙන්න ගිහිල්ලා අනූනමයෙන් බේරුණේ, හැබැයි මේ පොකුණ හින්දම තමා පස්සෙ කාලෙකදි රජ්ජුරුවන්ගෙ ජීවිතේ නැති උනෙත්.

1513 අවුරුද්දේ ධර්ම පරාක්‍රමබාහු කෝට්ටෙ රජ්ජුරුවො මළා. ඊට පස්සෙ කෝට්ටේ රාජසභාව තීරණය කරන්නේ කෝට්ටේ මීළඟ මහරජ පදවියට රණ ශූරයෙක් වෙච්ච සංවර්ධන වැඩ කටයුතුවලට දක්ෂ උඩුගම්පොළ සකලකලාවල්ලභ රජ්ජුරුවො සුදුසු බවයි. ඊට පස්සෙ කෝට්ටේ රාජ සභාවේ නියෝජිතයො උඩුගම්පොළට ඇවිල්ලා රජ පෙරහරකින් සකලකලාවල්ලභ  රජ්ජුරුවන්ව කෝට්ටේ රාජධානියට එක්ක යනවා කෝට්ටේ රාජධානියේ මහරජකම පවරන්න. ඒ උනාට සකල කලා වල්ලභ රජ්ජුරුවො ආයෙත් රටේ රජකම එපා කියලා උඩුගම්පොළටම එනවා. සකල කලා වල්ලභ රජ්ජුරුවන්ගෙ රජ කතා නම් බොහෝමයි එව්වා තව කියන්න ගියොත් මේ ලිපිය තව දිග්ගැස්සෙන හින්දා ලිපියෙ ප්‍රධාන මාතෘකාවට යං හාද?

උඩුගම්පොළ රජකම ගන්න සකල කලා වල්ලභ රජ්ජුරුවන්ගෙම පුත්තු රජ්ජුරුවො මරන්න හැදුවාට මරාගන්න බැරි වුණා. රජ්ජුරුවො අඩු ගානෙ ලෙඩක් දුකක් හැදිලා වත් නෙමේ නෙ මළේ. සිය දිවි නසාගත්තානෙ. ඔව් සිය දිවි නසා ගත්තා, මං අර කලින් කිව්ව පොකුණෙ පලහිලව්වකට නෙ ඒ ඉතින්. ඒ කතාවයි පොකුණෙ වැඩි විස්තරයි ඊළඟ ලිපියෙන් ගේනකල් අහගන්නකො රජ්ජුරුවො දෙයියා වෙච්ච හැටි. හාද?

සකලකලාවල්ලභ රජ්ජුරුවන්ගෙ මරණෙන් පස්සෙ, ඒ කාලෙ කෝට්ටේ රජ්ජුරුවෝ වෙච්ච සකල කලා වල්ලභ රජ්ජුරුවන්ගේ ඥාති සහෝදරයා විජයබා රජ්ජුරුවෝ උඩුගම්පොළ ප්‍රාදේශීය රාජධානියේ භාරකාරත්වයට පත්වුණා. ඒ අතරේ උඩුගම්පොළ පැත්තට නියඟයක් ඇවිල්ලා ආහාර අහේනියක් ඇවිල්ලා ලෙඩ රෝග පැතිරෙන්න උණා. සකල කලා වල්ලභ රජ්ජුරුවො සමහර ගම්මුන්ට හීනෙන් පෙන්නුම් කළා දෙවි කෙනෙක් වෙලා මිනිස්සුන්ට උදව් කරන හැටි. සාස්තර වලිනුත් ඒක තහවුරු වුණා. ඒ හින්දා රජ්ජුරුවෝ දිවිනසාගත්ත තැන, "අස් වෙච්ච" එහෙමත් නැත්තං "බිඳී ගිය වාන ඇති තැන", "අස්වානේ" රජ්ජුරුවෝ වෙනුවෙන් දේවාලයක් හදලා තමන්ගේ ගමටත් ජීවිතවලටත් එල්ල වෙච්ච  අතුරු ආන්තරාවලින් ආරක්ෂා කරලා දෙන්න කියලා ගම්මු රාජකීය දෙයියන්ට කන්නලව් කළා. ඊට පස්සෙ නියං බලපෑම අඩුවෙලා කරදර නැති වෙලා ගියා, ඒ හින්දා සකල කලා වල්ලභ රජ්ජුරුවෝ "අස්වානේ දෙවියෝ" විදිහට ප්‍රසිද්ධියට පත් වුණා.

අස්වානේ දේවාලය තියෙන්නේ උඩුගම්පොළ - මිනුවන්ගොඩ පාරේ අස්වාන හංදියෙන් හැරිලා ගියාම හම්බ වෙන අස්වානේ පිරිවෙන (ශ්‍රී ධර්මරතනෝදය පිරිවෙන) එහා පැත්තෙ. අස්වානේ දෙවියන්ට කැප වෙච්ච විශේෂ දේවාලයක් නම් අද අස්වානේ දේවාල බිමේ නෑ. හැබැයි එතන අනිත් හැම දේවාලෙකදිම දේව කන්නලව් වලදි අස්වානේ දෙවියන්වත් සිහිපත් කරලා පිහිට ඉල්ලන / පිං අනුමෝදන් කරන චාරිත්‍රෙ නම් තියෙනවා. අස්වානේ දෙවියන්ව උඩුගම්පොළ මිනිස්සුන්ට අමතක වෙලා යන්නේ බස්නාහිර පළාත පුරාම පැතිරිච්ච අති ප්‍රබල දේව ඇදහිල්ලක් වෙන ගම්භාර දෙවියො හින්දා. අස්වානෙ දෙවියො කියන්නෙත් ගම්භාර දෙවියොමයි කියලා මිනිස්සු පටළගත්ත හින්දා අද වෙද්දි අස්වානේ දේව ඇදහිල්ල "පිං දීමක් විතරක්" දක්වා වෙනස් වෙලා.

සකල කලා වල්ලභ රජ්ජුරුවන්ගෙ තව රස කතා තියෙනවා. රජ්ජුරුවො නාපු පොකුණෙ කතාවයි, රජ්ජුරුවො පොකුණ හින්දා සියදිවි නසාගත්තෙ ඇයි කියලයි, මළාට පස්සෙ රජ්ජුරුවො වගේම දේවත්වයට පත් වෙච්ච රජ්ජුරුවන්ගෙ මල්ලි ගැනයි, රජ්ජුරුවන්ගෙ පුත්තු ගැනයි තව විස්තර මෙහෙම කියවන්න විතරක්ම නෙමේ වීඩියෝවලින් බලන්නත් "සන්රස" (SanRasa) අපේ youtube චැනල් එකත් මෙතනින් subscribe කරන්නකො හාද?
***********





Wednesday, June 20, 2018

විනාඩි පහෙන් ලස්සනට සාරිය අඳින හැටි (Video එක්ක)

අපි දන්නවානේ fashion ලෝකෙට හැමදාම වගේ අලුත් විලාසිතා එකතු වෙනවා කියලා. කොච්චර විලාසිතා වර්ග එකතු වුනත්, ලංකාවේ අපිට නම් "සාරි විලාසිතාව" එපා වෙන්නේ නෑ නේද? විශේෂ උත්සව වලට, කාර්යාලයේ විශේෂ දිනයන් වලට, අපේ තරුණියන් සාරියකින් සැරසෙන්න ගොඩක් කැමතියි කියලා අපි දන්නවා. හැබැයි, අද කාලේ ඉන්න ගොඩක් ගෑණු ළමයි කොහොමද සාරියක් අදින්නේ කියලා හරියට දන්නේ නෑ. ඉතින් ඒක නිසා අපි හිතුවා, "කොහොමද සාරියක් අදින්නේ" කියලා ඔයාලට කියා දෙන්න.


සාරිය අදින්නට පෙර, අවශ්‍ය කරන සියල්ල ලං කරගෙන ඉන්න එක ඔයාලට ලේසියි.

අවශ්‍ය දෑ: සාරි හැට්ටය, සාරියට අදින යට සාය, සාරියට පළදින සපත්තු, ආභරණ. කොණ්ඩ මෝස්තරයට අවශ්‍ය දෑ, බොබී පින් සහ අනෙකුත් කටු.

සාරියක් ඇඳීමේ පියවර:

පියවර 01: මුලින්ම සාරි හැට්ටය සහ යට සාය ඇඳ ගන්න. (මෙහිදී, සාරි හැට්ටය ඔයාගේ ඇගට හරියට match වෙන්න ඕනා වගේම, යට සාය ඔයාගේ සාරි එකේ පාටට match වෙන්න ඕනි.යට සායද හොදින් හිර වෙන්න ඇද ගන්න.)

පියවර 02: සාරිය අදින්න කලින්, ඔයා සාරියට පළදින්න ඉන්න සපත්තු දෙක පැළද ගන්න. සාරියේ උස ප්‍රමාණය දැන ගන්න ඒක ගොඩක් වැදගත්.

පියවර 03: දැන් සාරියේ කොණකින් අල්ලා, සාරි පොටට එන මෝස්තරය කොයි පැත්තේද කියලා හොදින් බලා ගන්න.

පියවර 04: දැන් "සාරි පොටට එන පැත්ත නොව සාරියේ අනිත් කොණ (උඩ කොණ)" ගෙන ඔයාගේ යට සායේ දකුණු පැත්තට වන්න හොදින් ගසා ගන්න. ඉන්පසු එක්වරක් සාරිය ඔයාගේ ඉනවටා ඔතා ගන්න (එයද ඉනට හොදින් fix කර ගන්න).

පියවර 05: නැවත වරක් සාරිය ඉනවටා ඔතා ගන්න (නමුත් මෙවර එය ඉනට ගසා ගන්න එපා). ඒ වගේම සාරියේ පොටට එන කොටස දැන් ඔයාගේ වම් උරහිසට දමා ගෙන ඔයාට අවශ්‍ය උසට සාරි පොට ගෙන එය උරහිසෙන් fix කරගන්න (ඔයාට කැමති නම් සාරියේ පොට රැළි කල හැකියි, නැත්නම් සාරි පොට කඩා වැටෙන්නත් දැමිය හැකියි).

පියවර 06: උරහිසෙන් සාරි පොට ගසා ගත් පසු, එතැන් පටන් ඉනට වනතෙක් සාරිය අවශ්‍ය පරිදි ගෙන, ඉනේ මැදට අඟල් 3-4ක් වමට වෙන්න, සාරි රෙද්ද ඇඟට හොදින් තද වන ලෙස ගසා ගන්න.

පියවර 07: දැන් සාරියේ ඉතිරි වී තිබෙන මැද කොටසින්, අවශ්‍ය සාරි රැළි ටික (සාරි රැළි 5-6ක් පමණ) සාදා ගන්න.

පියවර 08: දැන් රැළි ටික හොදින් ඉනට ගසා ගන්න.

පියවර 09: දැන් සාරියට ගැළපෙන සේ අවශ්‍ය ආභරණ, make-up දමා ගන්න.

"සන්රස" ලියන මං කොල්ලෙක් නිසා සාරි අඳින හැටි දන්නෑනෙ, ඒ හින්දා මං මේක ඉස්සුවා මෙතනින්
http://lifelankanews.blogspot.com/2016/08/blog-post_62.html

Monday, June 18, 2018

ජ්‍යොතිෂ්‍යට ගරහන්නෙ උගත් මෝඩයො

"පලාපල ඇහුවොත් ඔලුව අවුල් වෙනවා", "ජ්‍යොතිෂ්‍ය කියන්නෙ බොරුවක්", "ඔව්වා විකාර" කිය කියා විවේචනය කරන අලුත් සමාජෙ තාක්ෂණේ දියුණුවෙන් උදම් වෙච්ච අපේ සිංහල බෞද්ධ හුඟක් දෙනෙක්ට ඒ ගොල්ලන්ගෙ අම්ම තාත්තලා හදෝපු කේන්දරයක් තියෙනවා. ඒ කේන්දරේ හරි උපන් වෙලාවට අනුව හැදුව නම් ඒ ගොල්ලො ලොකු උනාම එහෙම කෑගහනවා කියලත් හොයාගන්න අමාරු නෑ දක්ෂ ජ්‍යොතිර්වේදියෙකුට. ළමයෙක් උපන්න තැන ඉඳල කසාද බඳිනකල්, බැඳපු උන්ට ළමයි හම්බෙද්දි නමක් දාන්න, මළාට පස්සෙත්, ඒ විතරක් යැ සම්බුද්ධ ශාසනේ පොහොය කර්ම කරන්නත් ජ්‍යොතිෂ්‍ය පාවිච්චි කරන රටක ටික දෙනෙක්ගෙ මේ පිස්සුව හොඳටම එළියට එන්නෙ ෆේස්බුක් ආවාම, බ්ලොග් ලෝකෙ අදහස් හැප්පෙන වෙලාවල් වලට. උන් කියන ප්‍රධානම දේ තමා දියුණු රටවල් මෙව්ව කරන්නෙ නෑලු, අපි තාම නොදියුණුයි ලු. ඒ ඉතින් උන් දන්න තරම තමා. නාසා ආයතනේ අහසට රොකට් එකක් යවන්නත් ජ්‍යොතිර්වේදීන්ගෙන් නැකැත් වෙලාවල් බලලා කියලා මේ ගොල්ලො දන්නෙ නෑ. චීනෙ දියුණුව පිටිපස්සෙ ෆෙන්ග්ෂුයි කියන විශ්ව ශක්තිය කළමනාකරණය කරන ගුප්ත ශාස්ත්‍රේ තිබ්බා කියලා මුන් විශ්වාස කරන්නෑ, ජපානෙ දියුණුව පිටිපස්සෙ ජපානෙටම ආවේණික ආධ්‍යාත්මික හැදියාවක් තියෙනව කියල තාක්ෂණේ දියුණුවෙන් උදම් වෙලා ඉන්න මේ උගත් ගොබ්බයො තේරුම් ගන්නෙ නෑ. අදටත් අපිට වඩා අඩියක් හරි ඉස්සරහින් ඉන්දියාව දියුණුවෙලා ආසියාවෙ බලවත් රටක් වෙලා ඉන්නත් ඉන්දියාවෙ තියෙන මහා ආධ්‍යාත්මික බලය පාලකයන්ගෙ ඉඳලා මහජනතාව දක්වා පාවිච්චි කරන බව අපේ හැත්ත තේරුම් ගත්ත දාට ඉන්දියාවට බැන බැන ඉන්න එක නවත්තල අපේ රටත් මේ තියෙන තැනින් අඩියක් ඉස්සරහට ගන්න මහන්සි වේවි.



ජ්‍යොතිෂ්‍ය කියන්නෙ ආධ්‍යාත්මයත් ලෞකිකත්වයත් එකමුතු කරන රන් හුයක්, අනාගතේ දකින්න දිවැස් නැති සාමාන්‍ය පෘතග්ජනයන්ට ඉස්සරහ ජීවිතේ සැලසුම් කරගන්න පාර පෙන්නන පහන් කණුවක් කියල බටහිර මිනිස්සු තේරුම් අරං ඉවරයි. බටහිර මිනිස්සු මේවා බැහැර කරලා දියුණු උනා කියලා කයිය කෙළින උගත් මෝඩයෝ දන්නෙ නෑ එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඇමරිකාව වගේ රටවල්වල් ලෝකයේ සියළු ජ්‍යොතිෂ්‍ය ක්‍රමවේද අධ්‍යනය කරන්න මහා පර්යේෂණ අදටත් කරන බව, ඒවගෙ සාර්ථක ප්‍රතිඵල ඒ රටවල්වල දේවල් දියුණු කරන්න යොදාගන්න බව, පෙරදිග මහා ආධ්‍යාත්මික දැනුම බටහිර ස්වරූපයෙන් ආයෙ පෙරදිගට මාකට් කරන බව.




බුදු හාමුදුරුවො ජ්‍යොතිෂ්‍ය කියලා එකක් දේශනා කලේ නෑ තමයි, නැකැත් බලන්න එපා කිව්වා තමයි, නිවන් දැකීමට උත්සාහ කරන අය නොසෙවිය යුතු ශාස්ත්‍රයක් කියලා අනුදැන වදාළා තමයි.. ඒ ලෝකයේ සියළු බැඳීම්වලින් නිදහස් වෙලා නිවන් දකින්න උත්සාහ කරන අයට මිසක් බැඳීම් ගොඩක බැඳිලා කාලා බීලා සැපේ ඉන්න දඟලන දෙව් මිනිස් සැප කෙළවර නිවන් පතන එදිනෙදා ජීවිතේ ජීවත් කරවන්න මහන්සිවෙන සාමාන්‍ය මිනිස්සුන්ට නෙමේ. ජ්‍යොතිෂ්‍ය නිර්මාණය උනේ මිනිස්සුන්ගෙ ලෞකික ජීවිත සැපවත් කරන්න පාර පෙන්නන්න මිසක් මිනිස්සු සසරෙන් එතෙර කරන්න නෙමේ. අනික ජ්‍යොතිෂ්‍ය බුදු දහමට වත් කිසිම ආගමකට දහමකට අයිති දෙයක් නෙමේ, ඉන්දියානුවන් ඇසුරේ හැදුනු වෛදික ජ්‍යොතිෂ්‍යට ඉන්දියානු දේව විශ්වාස කලවම් උනා, චීනෙ ජ්‍යොතිෂ්‍යට චීනෙ ආගමික / සංස්කෘතික ලක්ෂණ කලවම් උනා / බටහිර ජ්‍යොතිෂ්‍යයට බටහිර සංකල්ප කලවම් උනා. ඕනෑම ජ්‍යොතිෂ ක්‍රමේක අරමුණ මිනිස්සුන්ට අනාගතේ පෙන්නලා දීලා ඉස්සරහ සැලසුම් කරගන්න පාර පෙන්නන එක. මොළයක් කියලා නාමයක් තියෙන මිනිහෙක් නම් කරන්නෙ, ඒ පෙන්වල දෙන මග සලකුණු දිගේ තමන්ගෙ අඩුපාඩු වැරදි හදාගෙන කල්පනාවෙන් ගිහිල්ලා තමන් දන්න දේ තමන්ගෙ ලඟ තියෙන දෙයින් අනාගත ජීවිතේ සැපවත් කරගන්න එක මිසක් ජ්‍යොතිෂ්‍යටවත් වෙන කෙහෙම්මලකටවත් බැන බැන චෝදනා කර කර ඉන්න එක නෙමේ. ජ්‍යොතිෂ්‍යට ගරහන සිංහල බෞද්ධ උගත් මෝඩයො ඉස්සෙල්ලම කරන්න ඕනෑ නිර්වාණ මාර්ගයට පිවිසෙන එක, එහෙම නැතුව සිංහල බෞද්ධ කිය කියා ෆේස්බුක් එකේ ඩෙඟා නටන එක නෙමේ, උන්ට තරම් උගත්කමක් නැති අහිංසක අසරණ මිනිහෙක්ගෙත් ඔළුව අවුල් කරලා ජ්‍යොතිෂ උපදෙසක් එක්ක හරි උන් අඩියක් උඩට එන්න හදන එකට වළ කපන්නැතුව ඉන්න එකයි මනුස්සකම.




සිංහලයට කෙළවෙලා ඉවරයි! ඒක අද ඊයෙ වෙච්ච දෙයක් නෙමේ, සුද්ද ආපු දා ඉඳලා වෙන දෙයක්. පන්සලයි - පිරිවෙනයි එක්ක බැඳුනු සමාජ රටාව තමා සිංහලයගෙ ශක්තිය, බලය උනේ. අපේ පිරිවෙන්වල ජ්‍යොතිෂ්‍ය විශයක් විදිහට ඉගැන්නුවා අතීතෙ. ඒ කාලෙ ගමේ පන්සලේ / පිරිවෙනේ හාමුදුරුවො ඉස්සෙල්ලම ගමේ මිනිහගෙ හිතේ ප්‍රශ්න විසඳල තමා බණ කිව්වෙ. ගමේ ළමයෙක් උපන්නාම ලොකු හාමුදුරුවො වේලා පත්කඩේ හදලා දුන්නා. ලොකු මහත් වෙච්ච ළමයා පන්සලට ආවා ලියන්න කියවන්න ඉගෙන ගන්න. ගමේ මනුස්සයෙක්ගෙ කරදරේකදි ගමේ පන්සලේ හාමුදුරුවො මූලික වෙලා ඒ මනුස්සයට පිහිට උනා. අද අපේ ගොඩාක් හාමුදුරුවරු වගේ බණ කිය කිය විතරක් ඉන්නැතුව එදාවේල කාලා ජීවත් වෙච්ච මිනිස්සුන්ගෙ එදිනෙදා ජීවිතේ ජීවත් වෙන්න ඒ කාලෙ ගමේ පන්සලේ හාමුදුරුවො මැදිහත් වෙලා උදව්පදව් කළා. මිනිස්සු සුවපත් කරන්න උන්නාන්සේලා #වෙදකම පාවිච්චි කළා, පෘතග්ජන මිනිස්සුන්ගෙ කර්ම විපාක පෙන්නලා දීල අනාගත ජීවිතේ සැලසුම් කරගන්න උන්නාන්සේලා #ජ්‍යොතිෂ්‍ය උපයෝගී කරගත්ත ගමේ අහිංසක මිනිස්සුන්ට දැනෙන විදිහට ශාන්තිකර්ම පාවිච්චි කරලා හිත් හයිය කරන්න මහන්සි උනා, එහෙම හිත හැදිච්ච මිනිස්සුන්ට #බණ කිව්වා. ඒ මිනිස්සු බණ ඇහුවා, ඒ අනුව ජීවත් උනා. ඒ කාලෙ අපේ මිනිස්සුන්ට පන්සල ජීවිතේ total solution එක උනා. ඒ නිසා මිනිස්සු පන්සල එක්ක සහයෝගෙන් ජීවත් උනා. සුද්දා තේරුම් ගත්තා පන්සල එක්ක ඉන්නකල් සිංහලයට කෙළින්න බෑ මේ රට උන්ට ඕනැ හැටියට කරන් යන්න බෑ කියලා, ඒ හින්දා පන්සල් / පිරිවෙන් මුල් වෙච්ච අධ්‍යාපන ක්‍රමය මිෂනාරි අධ්‍යාපන ක්‍රමය කළා, කේන්දර බැලිල්ල, බලි තොවිල් ශාන්ති කර්ම මෝඩයන්ගෙ මෝඩ වැඩ කියලා ප්‍රබල ජනමතයක් ගොඩ නැගුවා, අපේ උන් ඒ ඇම කෑවා. බුදුදහම අත ඇරලා ක්‍රිස්තියානි / කතෝලික වෙච්ච සිංහලයො රට විභාග පාස් වෙලා හොඳට ඉගෙන ගෙන දියුණු වෙලා අර සුද්දගෙ මතේ අපේ රට පුරා අරං ගියා. තාමත් ඒ මුතුන්මිත්තන්ගෙ ලේ තියෙන උන් ඒ ගැනම කිය කියා ගම්වල මිනිස්සුන්ගෙ ඔළු අවුල් කරනවා.




ජ්‍යොතිෂ්‍ය කියන්නෙ ගුප්ත විද්‍යාවක් නෙමේ, අහසෙ තරු රටා මත පදනම් වෙලා, ගණනය කිරීම් එක්ක විශ්ව ශක්තිය පොළොවෙ ජීවත් වෙන මිනිස්සුන්ට බලපාන හැටි විග්‍රහ කරන පාර භෞතික විද්‍යාවක් කියලයි හින්දුත් නොවන බෞද්ධත් නොවන බටහිර පර්යේෂකයො හඳුන්වන්නෙ. ඒ අය පොත්පත්, ජ්‍යොතිෂ්‍ය ලිත් දාස් ගණනාවක් එළි දක්වල තියෙනවා ඒ සම්බන්ධයෙන්. ඒ තියෙද්දිත් නෙ අපේ උගත් මෝඩයො ජ්‍යොතිෂ්‍යට ගරහන්නෙ. ජ්‍යොතිෂ්‍ය සිංහල අපේ වැරදි හදන් ඉස්සරහට යන්න තියෙන හොඳ ආයුධයක්. භෞතික සංවර්ධනයේ ඉහළට ගිය බටහිර මිනිස්සු භෞතික දියුණුවේ සීමාවන් නුවණින් දැක හඳුනාගෙන ආධ්‍යාත්මික සංවර්ධනය හොයාගෙන පෙරදිග මහා දැනුමට ළං වෙන එක සාමාන්‍ය දෙයක්. අපේ රටවල් තාම එහෙමට දියුණුවක් නැති හින්දා වෙන්නැති අපේ අයට අපි ළඟ තියෙන ආධ්‍යාත්මික වටිනාකම්වල ඒතරම් අගයක් නොදැනෙන්නෙ. මෙව්ව ගැන මෙහෙම බ්ලොග් ලියලා මහන්සි වෙලා කිසි තේරුමක් නෑ මං මේ රටේ මහා සිවිල් බලයක් තියෙන ජනමත නායකයෙක් නොවෙන හින්දා, ඒත් මේ ලියපු ඩිංග කියවලා අලුත් පරම්පරාවෙ එකෙක් හරි ජ්‍යොතිෂ්‍යයේ වටිනාකම තේරුම් අරන් ජ්‍යොතිෂ්‍යයෙන් තමන්ගෙ ජීවිතේට ආලෝකයක් උදාකරගත්තොත් ඒ පින මගෙ යහපත වෙනුවෙන් අනුමෝදන් වේවා!

Tuesday, June 12, 2018

පූසන්ගෙ පිස්සු වැඩ




ගෙදර පූසා කනබොන එකයි බඩ පැලෙන්න කාලා කොහෙ හරි පතබෑවිලා දොයියන එක ඇරෙන්න තව මොනවද කරන්නෙ? මීයො අල්ලනවද? නැත්තං වත්තට මිදුලට එන අහිංසක සත්තුන්ට වැඩේ දෙනවද? පූසට අයිති පූස් රාජකාරි හරියට කරන පූසෙක් ඉතින් ගෙදරට අනේ වාසනාවන්! හාද?

ඔයගොල්ලෑ පූසා එක එක ජාතියෙ අමුතු පිස්සු කෙලිනව නේද සමහර වෙලාවට. උන් එහෙම කරන්නෙ කියලා මොකෝ ඇහුවට කියනවයැ නේද, කිව්වට තේරෙනවයැ අපිට නේද? අද අපි කියන්න හදන්නෙ පිස්සු පූස් වැඩ කීපයක් ගැන.

1. ඇස් ඔරෝගෙන බලන කැත



ඔයාලෑ පූසා ඇස් ලොකු කරලා, ඔරෝගෙන ඔයාලැ දිහෑ බලාගත්තු අතේ බලං ඉන්නව දැකලා තියෙනවද කොයි වෙලාවක හරි? නෑ නෑ පූසට ඔයා එක්ක මළ පැනලා නෙමේ ඒ, ඒ පූසට ඔයාගෙ අවධානෙ යොමුකරගන්න හදන්නෙ පොඩ්ඩක් හුරතල් වෙන්න ඉතින්. ඌ පූස් මායමක් කියලා තමා සත්ව හැසිරීම් විශේෂඥ මහත්තුරු කියන්නෙ.


2. රෑට විකාරේ



දවල් තිස්සෙ කාලා කාලා බුදියලා රෑ තිස්සෙ ගේ එක දෙක කරන පූස වෙලාවකට මළ වදේ නේද? කරන්න දෙයක් නෑ ඒ පූසගෙ පූස් ගතිය, පූසන්ට උන්ගෙ මුතුන්මිත්තන්ගෙන් උරුම වෙච්ච රෑ දඩයම් පුරුද්ද නිසා කියලයි ඒ ගැන පර්යේෂණ පවත්වපු මහත්තුරු කියන්නෙ. ඔය මහත්තුරු නම් කියන්නෙ දවල්ට පූසා ඇහැරෝලා තියාගත්තොත් රෑට සැනසිල්ලෙ නිදාගන්න පුළුවන් කියලා. මොකෝ දවල්ට අපිට වෙන වැඩ නැතුවටයැ පූසො ඇහැරෝලා තියාගන්න නේද? රෑට වද දෙන පූසෙක් ඉන්නව නම් දවල්ට ඌට හෝම් වර්ක් දෙන්න, අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි පූසා රෑට දොයි!


3. කුක්කු කූක් කූට කලින් ඤාව් ඤාව්



කුකුලත් අතින් අරන් කියලා කියමනක් තියෙනවනෙ උදේ පාන්දර කවුරු හරි ආවොත් නේද? කුකුලා හඬලන්නත් කලින් ඇහැරෙන ජාතියක් තමා පූසො කියන්නෙ, ඇයි රෑ තිස්සෙ නිදාගන්නෙත් නෑනෙ. චූටි කුරුල්ලො, ලේන්නු සත්තු එළි බහින වෙලාවනෙ දඩයමක් කොටාගන්න පූස් මුතුන් මිත්තො එළි බැස්ස වෙලාවනෙ ආරේ ගති නෑරේ කියලා දැන් හැදෙන එකාලත් ඇහැරගෙන. උදේ එලාම් එකට කලින් ඇහැරෙන්න ආදරෙන් පූසෙක් හදන්න කියලා තමා සුදු මහත්තුරු කියන්නෙ.

4. නියපොතු විලිස්සා පොඩි තට්ටුවක් (Knead)



පැටියෙක් නම් පූස් අම්මගෙ ඇඟේ සමහර වෙලාවට මසාජ් කරනව වගේ එකක් කරනවා, ලොකු එකෙක් නම් තණකොල ගොල්ලෙ / රෙදි කෑල්ලක් ගෝනියක් / සැපපහසු පුටුවක් උඩ නැත්තං ඔයාගෙ ඔඩොක්කුවෙදි නේද? පූසො එහෙම කරන්නෙ උගෙ අයිතිය ප්‍රකාශ කිරීමක් / සීමාව ලකුණු කිරීමක් / ආදරේ පෙන්නිල්ලට ලු නෙ.


5. දකින දකින දේ පහුරු ගානවා



බයික් එකේ සීට් එක ගන්න දෙයක් නෑ පූසා පහුරු ගාලා. කුෂන් පුටුවට පූසා ලං වෙනකොට අම්මගෙ සද්දෙ අල්ලපු ගෙටත් ඇහෙනවා. ඇත්තටම පූසො ඇයි පහුරු ගාන්නෙ? පූසගෙ නියපොතුවල සෞඛ්‍ය තත්ත්වෙ ආරක්ෂා කරගන්නලු නෙ ඒ. අපි වගේ නියපොතු කපන්න නේල් කටර් බ්ලේඩ් තල ඕනෑ එකක් යැ කොහෙ හරි පහුරුගෑවාම ඔක්කොම හරි.


6. වැටිච්ච වැටිච්ච තැන පතබෑවිලා දොයි



පූසො හිතිච්ච තැන්වල වැටිච්ච තැන්වල දොයියනවා නේද? උගෙ පූස් මනසට ආරක්ෂිතයි කියලා හිතෙන තැනලු නෙ ඌ විවේක ගන්න තෝරගන්න එකලුනෙ ඒකට හේතුව. හිත ගිය තැන මාලිගාව කියන්නෙත් ඒ වගේ එකකට වෙන්න ඇති නේද?

ලිප් බොක්කෙ දොයියන්නෙ ආරක්ෂිත හින්ද නෙමේ ඤාව්! (අපේ පූසා)

ආ සොරි ඈ.. ලිප් බොක්කෙ දොයියන්නෙ පූසො උණුසුම් තැන්වල ඉන්න කැමති හින්දා. රත් වෙච්ච ලැප්ටොප් උඩට නගින්නෙ, ඉස්සර පරණ ලොකු ටීවී උඩ ලැග්ගෙත් අන්නේකයි. හාද?

ඤාව්! (අපේ පූසා)


7. පූස් විසේ



හිටපු ගමන් කිසි බාහිර බලපෑමක් නැතුව පූසො එක පාරටම හෙණ ගහලා වගේ දුවනවා, උඩ පනිනව නේද? බකල් ගහ ගහ ඇවිදින්න පුරුදු වෙන පූස් පැටව් පවා හිටපු ගමන් යක්කු වගේ උඩ නගිනව පනිනවා දැකල තියෙනවද? පූසො එහෙම කරන්නෙ පූසන්ගෙ ඇඟේ වැඩිවෙච්ච අමතර ශක්තිය පිට කරලා ඇඟේ ශක්ති මට්ටම සාමාන්‍ය අගයකට ගේන්නලු නෙ.


8. උඩුබැලි වෙලා බඩ උඩ දාලා



පූසො උඩුබැලි අතට පෙරලිලා බඩ උඩ දාගෙන විලි ලැජ්ජා නෑ වගේ ඉන්නව නේද?  පූසො එහෙම පෙරළිලා ඉන්නෙ සාමකාමී හැඟීමකින් සැනසිල්ලෙ නිදහසේ ඉන්නකොටලු.  කාලා කාලා බඩ පිරිලා ඉද්දි බඩේ ඉඩ හදාගන්නත් පූසො එහෙම දිගෑදෙනවාලුනෙ.


9. නාන්න හොර පූසා

පූසෙක් නාවන්න හදනකොට මරන්න ගෙනියනවා වගේ මැරෙන්න හදනව නෙ. පූසො වතුරට තෙතමනේට කැමති නෑ. ඒකට හේතුව අවුරුදු දාස් ගාණක් තිස්සේ පූසො මිනිස්සු අස්සෙ ගෙවල් අස්සෙ උණුහුමට හැදිච්ච හින්දාලුනෙ. පූස් මයිල් ඇඳුම තෙමුණාම වේල ගන්න අමාරුයි, එක පූසන්ට කරදරයක්. ස්වභාවෙන්ම පූස් කෙල හැදිලා තියෙන්නෙ පූසට තනියම නාගෙන පිරිසිදුවට ඉන්න ගැලපෙන රසායනික සංයෝගෙකින්ලු නෙ. කන්න බොන්න විතරක් නෙමේ පූස් දිව නාන්නත් ගැලපෙන විදිහට හැදිලා තියෙන්නෙ. අපි කුණු අතුල්ල ගන්නව වගේ පූසො නියපොතුවලින් ඒ දේ කරගන්නවලු නෙ. වැඩිපුර පිරිසිදු වතුර බොන්න දෙනව නම් පූසෙක්ව නාවන්න දස වද විඳින්න ඕනැ නෑ පූසම නාගන්නවා කියලා තමා බටහිර පර්යේෂණ හොයාගෙන තියෙන්නෙ. සුද්දො කිව්වයි කියලා යකෝ ගෙයි හැමතැනම ලගින පූසව නාවන්නැතුව කොහොමද නේද උගෙ ගඳ ඌට ගඳ නැති උණාට අපිට ගඳයි නෙ නේද?


10. දඩයමක් අරං ගෙට රිංගන එකනෙ ඉවසන්න බැරි



මීයෙක් හරි, අහිංසක ලේන් පැටියෙක් හරි කටින් අරං පූසා මොන මගුලකට ගේ අස්සට දුවං එනවද කියල හිතෙනව නේද, යකා නගිනව නේද පූසා එක්ක? පූසන්ගෙ මුතුන්මිත්තො එහෙම දඩයම් ගෙනල්ලා හංගල තියන් කෑවෙ දැන් හැදෙන එකාලට වගේ තුන් වේලටඉල්ලන ඉල්ලන සැරේට කන්න බොන්න දෙන්න හාම්පුත්තු නැති හින්දනෙ. දැන් හැදෙන පූසො දන්නවා උන්ට කෑම බීම ටික වෙලාවට හාම්පුතා දෙනවා කියලා. එහෙනං මොන මඟුලකටද පූසො දඩයම් උස්සං ගෙට එන්නෙ? ඒකට හේතුව පූසා ඔයාලගෙන් ලකුණු දාගන්න හදන එකලු. පූස් රාජකාරි හරියට කලා කියලා ඔයාලට පේන්න දඩයම එහෙට මෙහෙට අරන් ගිහිල්ලා කාල දාන්නලු දැන් හැදෙන පූසො කැමති කියලා පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. පූසො ඒකෙන් ස්වාමියට ණය නෑ කියලා පෙන්නනවලු. යකාගෙ පූසො නේද ඈ?

පූස් පිස්සු වැඩ ගැන කතාව හොඳ නම් යාළුවො එක්ක බෙදා ගන්න,
අවුල් නම් මට කියන්න.
වීඩියෝ වැඩසටහන් බලන්න සන්රස අපේ 
චැනල් එකත් මෙතනින් ගිහිල්ලා  subscribe කරලා සහයෝගයක් දෙන්න හාද?

Saturday, June 9, 2018

හිතේ දුකට ගින්දරෙන් විසඳුමක් - වාසනා දාහ තන්ත්‍ර


හිත හරි පුදුම තැනක්.. හිතට එක මොහොතකට එන අදහස් කන්දරාව.. ඒ හිත කැඩෙන, තැලෙන, පොඩිවෙන වාර අනන්තයි ජීවිතේ.. හිතට වද දෙන ප්‍රශ්නයක් හිතේ සින්නක්කර අයිතියට පදිංචි වෙච්චාම කෝ අපිට හිතේ සැනසිල්ලක්?

හිතේ දුකට සමහරු බොනවා, ඔළුව හැරිච්ච අතේ යනවා, එක එක විකාර වැඩ කරනවා.. ඉවසන්නම බැරි උනාම සමහරු සියදිවි හානි කරගන්නවා, දරාගන්න බැරි උනාම සමහරුන්ගෙ ඔළුව විකල් වෙලා පිස්සො වෙනවා.

හිතට වද දෙන ප්‍රශ්නෙකින් ගැලවෙන්න විධි ගොඩක් තියෙනවා, අද මං කියන්න යන මේ විදිහ අසැල්වැසි ඉන්දියාවෙ පුරාණ වෛදික ඥාණ සම්භාරයෙන් තෝරගත්ත එකක්. "වාසනා දාහ තන්ත්‍ර"

නම "වාසනා" උනාට "ලකී" උනට අවාසනාව, අන්ලකී කරපින්නාගත්ත උන් කොච්චරක් නම් ඉන්නවද, අතට ගත්ත දේ කටට දාගන්නත් වාසනාවක් තියෙන්න එපායැ කියල කිව්වට අපි මේ කියන වාසනා ඒ වාසනාලට අයිති නෑ. "වාසනා දාහ තන්ත්‍ර" එකේ වාසනා කියන එකේ සංස්කෘත තේරුම "වර්තමානයට බලපාන අතීත අත්දැකීම් / හැඟීම් / පුරුදු" කියන එක. "දාහ" ඉතින් දන්නවනෙ "දහනය / දැවෙන / පිච්චෙන" කියන තේරුම. "තන්ත්‍ර" කියන්නෙ ක්‍රමවේදයක් කියන එක. තේරෙනව නේද තේරුම?

"වාසනා දාහ තන්ත්‍ර" දවසේ ඕනෑම වෙලාවක, ආගමික ස්ථාන / නිවසේ පූජා ස්ථානය ඇරෙන්න වෙන ඕනැ තැනක කරන්න හොඳයි කියලා තමා සෘෂිවරු දේශනා කරලා තියෙන්නෙ. වැඩේ පටන් ගනිද්දි බුද්ධියට අධිපති ගණ දෙවියන්ට හිතින් නමස්කාර කරන්න කියලා තියෙනවා වැඩි සාර්ථක ප්‍රතිඵල වෙනුවෙන්, ගණ දෙවියො විශ්වාස නැත්තං ඔයාට ඔයා අදහන ආගමක් සිහි කරලා වැඩේට අත ගහන්නකො, කෝකකටත් හොඳයිනෙ ඉතින් හොඳ වැඩක් පටන් ගනිද්දි ආගම දහමට මුල්තැන දෙන එක නේද?

"වාසනා දාහ තන්ත්‍ර" කරන විදිහ ගැන කියන කතාව මෙතනින් අහන්න


"වාසනා දාහ තන්ත්‍ර" සුද්ද කොපි කළා නෙ. සුද්දා ඒකෙන් පොඩි කෑල්ලක් අල්ලන් හැදුවා Journaling කියලා එකක්. හිතේ ලෙඩ පොතේ ලියන එකනෙ ඕක. ලෝකෙම පිළිගත්ත සායනිකව තහවුරු වෙච්ච මනෝ චිකිත්සක ක්‍රමයක් නෙ ඉතින් ඒක. කිතු දහමෙ යම් යම් කරුණු මුල් කරගෙන පස්සෙ කාලයන්ගේදි කැඩිල ගිය අය එක එක සභාවල් / ශුභාරංචි මධ්‍යස්ථාන අරවා මේවා හදාගත්තනෙ. ඇමරිකාවෙන් බිහි වෙච්ච ප්‍රොතෙස්තන්ත්‍ර නිකායවල්, යුනිටේරියන් පල්ලිය වගේ ආගමික සංවිධානවලින් "වාසනා දාහ තන්ත්‍ර" ඒ ගොල්ලංගෙ විදිහට යාඥා එක්ක කරගෙන යනවා Burning Bowl Ceremony කියලා. අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ හරි ජනවාරියෙ හරි ඒ ඒ පල්ලි නියම කරගත්ත දවසක අර "වාසනා දාහ තන්ත්‍ර" විදිහටම දුක පුච්චනවා එයාලත්.

පෞද්ගලිකව මම "වාසනා දාහ තන්ත්‍ර" පිහිට සෑහෙන්න ලබාගෙන තියෙනවා. ප්‍රේම(ය) බිඳ වැඩීම් වලදි මගෙ හිතේ දුක නිදහස් කලේ "වාසනා දාහ තන්ත්‍ර". මම නම් පෙම්වතියට අදාල මං ළඟ තිබ්බ හැම දේම (අරං දීපු ඇඳුම් පවා අනේ) ඔහෙ ඕනැ මඟුලක් කියලා පුච්චලා දැම්මා. එහෙම කරන්න කියලා නම් නෑ හැබැයි පුරාණ ඉසිවරු මම එහෙම කළාට, හැබැයි ඒකෙන් මගෙ හිත නම් සැහැල්ලු උනා. (උන්න හැටියට මලා මදැයි කියන්නෙ ඒකටද?)

බ්ලොග් එක කියවන්නම ආපු අය වීඩියෝ එකත් බලලා, කැමැත්තක් ඇති උනොත් සබ්ස්ක්‍රයිබ් කරලා යන්න හාද?

මෙව්වා හොඳ නම් යාළුවන්ට කියන්න, නරක නම් මට කියන්න..

බොහොම ස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගියාට,
ජයවේවා! 

Tuesday, June 5, 2018

ඇත්තු 7කට ගල් බෝරෙකට පෙරලන්න බැරි වළගම්බා රජ්ජුරුවන්ගෙ පෙට්ටගම් ගල

මම හස්ති ෆේස්බුක් පිටුවට 2018 මාර්තු 31 වැනිදා ලියපු සංචාරක සටහනක්. 

මහා කළු සිංහලයා කියලා ඉතිහාස ගත වෙච්ච වළගම්බා රජ්ජුරුවො ගැන නොදන්න සිංහලයෙක් හැබෑ සිංහලයෙක් වෙන්න බෑ, මොකක් හරි කලවමක් වෙන්නම ඕනෑ කියලා තමා අපේ පැත්තෙ මිනිස්සු නම් කියන්නෙ. අවුරුදු ගාණක් වළගම්බා රජ්ජුරුවො රට පුරාම තැන් තැන්වල හැංගිලා හිටියනෙ, රජ්ජුරුවො අපේ ගම්පහ දිසාවෙත් සෑහෙන තැන්වල කරක් ගහලා තියෙනවා. මම මේ ඔයගොල්ලන්ව එක්ක යන්න හදන්නෙ වළගම්බා රජ්ජුරුවො හැංගිලා හිටිය වෙන අපූරු කන්දක් පෙන්නන්න. කන්දෙ නම පෙට්ටගම් කන්ද. වළගම්බා රජ්ජුරුවන්ගෙ මහා වස්තු සම්භාරයක් හංගාපු තැනක් කියලනෙ එතන කියැවෙන්නෙ, ඕං ඉතින් මේ ලිපිය කියෝලා තමුන්නාන්සේලා එහෙ නිදං හාරන්න එහෙම ගිහිල්ලා මාව එහෙම පටළවනවා නෙමෙයි හොඳේ.

231 ගම්පහ කිරිඳිවැල බස් පාරෙ (යක්කල රදාවාන පාර කියලත් කිව්වෑකි) දික්කන්ද හංදියෙන් ඌරාපොළ පාරෙ කිලෝමීටරයක් විතර එද්දි ගල්බොඩ ගම හම්බවෙනවා. ගල්බොඩ ගමේ ඉසිසර තපෝවනය ආරණ්‍ය සේනාසනය ළඟ තමා මේ ගල තියෙන්නෙ. ගල්බොඩ හංදියෙන් ඇතුල් පාරෙ මීටර් තුන් හාරසීයක් විතර ඉස්සරහට යද්දි හම්බවෙනවා වම් අත පැත්තෙ ගල්බොඩ මරණාධාර සමිති ගොඩනැගිල්ල. ඒත් එක්කම එතනින් උඩහට කලූගල් කෑලි මතුවෙච්ච පාර දිගේ තව උඩහට යන්න ඕනැ ඉතින්. ගස්කොලන් වලින් මහ ගල් කුළු වලින් වට වෙච්ච මේ පාර දිගේ ඔහොම යද්දි ඉස්සරහට පාර එන්න එන්නම කඳු තරණයක් වෙන නිසාත් පොඞ්ඩ එහෙ මෙහෙ උණොත් මහ හෙළකට පල්ලම් බහින්න වෙන නිසාත් පරෙස්සමට යන්න ඕනෑ. පාරෙ කෙළවර ආරණ්‍යයට ලං වෙද්දි අපිට බෝධීන්වහන්සේ පේනවා. ඒ පාමුල මෙහෙණින්වහන්සේලා වැඩවාසය කරනවා, උඩහ ආරණ්‍යයේ තමා ස්වාමීන්වහන්සේලා වැඩ ඉන්නෙ. ඉතින් ටි‍්‍රප් මානසිකත්වෙන් මෙතන කෑකෝ ගහන්න සුදුසු තැනක් නෙමේ කියලා ඔයාලට අමුතුවෙන් කියල දෙන්න ඕනෑ නෑනෙ නේද? ඒත් ඒ ගැන අමුතුවෙන්ම මතක් කරලා දෙන්න ස්වාමීන්වහන්සේලාට දැන්වීම් ගහන්නත් වෙලා තියෙන්නෙ ඇයි කියලා මට හිතිච්ච දේ මං මේකෙ නොලියා ඉන්නම් මොකටද අපි හිත් රිද්ද ගන්නෙ නේද? මෙහෙණින්වහන්සේලා වැඩ ඉන්න හරියෙ නම් බයිසිකලයක් දෙකක් ත‍්‍රීවීලරයක් ඇරෙන්න වාහන නවත්තන්න මහ ඉඩකඩක් නෑ, එතනින් උඩහට ගියොත් ආරණ්‍යය කිට්ටුවෙන් වාහනේ නවත්ත ගන්න පුළුවන්, වාහනේ ගන්න කලින් ඉස්සෙල්ලා කවුරු හරි උඩහට යවලා බලන්න තව වාහන ගිහින් තියෙනවද කියලා උඩහා වාහන වැඩි උනොත් ඩ‍්‍රයිවර් මහත්තයට ලොකු කට්ටක් කන්න වෙනවා වාහනේ හරෝලා පහලට එන්න. පරෙස්සමට යනව නම් විතරක් වාහනේම යන්න පුළුවන් හැබැයි ආවටත් වැඩිය අමාරු කන්දක් තමා උඩට නගින්න වෙන්නෙ පාර දිගේ.

ටික ටික උඩහට ඇවිදං යනකොට කන්දෙ මහා ගල් තලාව පේන්න පටන් ගන්නවා. ඒ ගල් තලාව එක්කම ඈතින් ගල උඩ ගලක් තිබ්බා වාගේ පේන පෙට්ටගම් ගල පේනවා. දැක්ක ගමන් පැනගෙන පෙට්ටගම් ගල ගාවට දුවන්න එපා, ඒ හරියෙ බෑවුම වැඩියි පොඞ්ඩ එහෙ මෙහෙ උනොත් අඩි ගාණක් පහළ ගල්වලක දොයියන්න තමා වෙන්නෙ ආයෙ ඇස් නාරින්නම. ඉවසීමෙන් ඉස්සරහට එන්න, ආරණ්‍යයේ චෛත්‍යය ළඟටම. චෛත්‍ය ගාවින් තමා පරෙස්සමට පෙට්ටගම් ගල ළඟට ළං වෙන්න පුළුවන්. ඉස්සෙල්ලා ගල බලනවද, ආරණ්‍ය වැඳ පුදාගෙන ඉන්නවද කියලා ඉතින් තීරණේ ඔයාලෑ අතේ, මම නම් වඳින්න ගිය ගමනක් නෙමේ හින්දා ගල ළඟට තමා කිට්ටු වුණේ. ගල මෙහෙම තියෙන්නෙ ස්වභාවිකව වෙච්ච විපර්යාසයක් හින්දා කියන්නා වාගෙම කවුරු හරි පෙරළලා ගෙනත් තිබ්බ ගල් උගුලක් කියලත් කියනවා. හැබෑටම මේක අපේ වළගම්බා උත්තමයගෙම වැඩක් වෙන්නත් බැරි නෑ නේද?

පෙට්ටගම් ගල තියෙන විදිහ දැක්කාම දැන් පෙරළෙයි දැන් පෙරළෙයි වගේ තමා හිතෙන්නෙ. ඒත් ආරණ්‍යයේ නායක හාමුදුරුවෝ බෝගොඩ ඉන්ද්‍රවිමල ලොකු හාමුදුරුවො කිව්වේ අහල පහළ ගල්කොරිකාරයො ගල්බෝර දාලා වත් ගලේ කිසි වෙනසක් වුණේ නෑලූ. ගොඩාක් කාලෙකට කලින් ඒ පැත්තෙ හිටපු සල්ලිකාර, බලපුළුවන්කාර හාමු මහත්තයෙක්, පෙට්ටගම් ගල හොල්ලන්න කියලා හිතාගෙන අලි 7 දෙනෙක් දම්මලා තල්ලූ කරන්න හදලා තියෙනවලූ, එතකොටම කොහෙන්දෝ මතු වෙච්ච කළු දෙබරො ?ණකගෙ ප‍්‍රහාරෙට කුලප්පු වෙච්ච අලි හත්දෙනා කන්දෙන් පල්ලෙහාට පතබෑවිලා තියෙනවාලූ. ඒ අලි වැටිච්ච ගම් පළාතට අලිවලපල්ල කියලලූ නම වැටිලා තියෙන්නෙත්.

කඳු මුදුනට ගම්පහ දිසාවෙ සුප‍්‍රසිද්ධ පූජනීය ස්ථාන 3ක් වෙච්ච වාරණ, පිළිකුත්තුව, මාලිගාතැන්න පුදබිම් එක පාර පේනවා. කඳු මුදුනෙදි සනීපෙට ඇඟට වදින හීන් හීතල හුලං රැල්ලත් එක්ක ගස්කොළන්, සරු සාර කුඹුරු යායවල් අතරින් ඈත බලං ඉන්නකොට ඉන්නෙ කොහෙද කියලත් අමතක වෙනවා මිත‍්‍රවරුනි ඒ තරම් සැනසිල්ලයි.

වළගම්බා රජ්ජුරුවො මෙතන වස්තුව හැංගුවා කියන හින්දම මෙතන නිදන් ගන්න ගොඩාක් අය එක එක සෙල්ලම් දාලා තියෙනවලූ. හාමුදුරුවොයි ගමේ මිනිස්සුයි එකතුවෙලා තමා මේ අපූරු සොබා ලස්සන මේ තියෙන තත්ත්වෙට හරි රැකගෙන තියෙන්නෙ. පෙට්ටගම් ගල මුදුනෙ සර්වඥ ධාතූන්වහන්සේලා තැන්පත් කරලා බුරුම ක‍්‍රමේට රන්වන් පාටට පොඩි චෛත්‍යයක් හදන්න ප‍්‍රධානම හේතුව වෙලා තියෙන්නෙ ගල උඩට කොල්ලො කුරුට්ටො නැගලා අනතුරක් කරගනීවි කියන බයලූ. ඒ වගේම ජෝඩු ජෝඩු ඇවිත්, බේබද්දො ඇවිත් ගල වනසන්න කලින් මෙතන පූජා භූමියක් තියෙනවා කියලා හැඟෙන්න දැනෙන්න සංඥාවක් දෙන අරමුණත් ඒ පොඩි චෛත්‍ය හැදිල්ලෙ පිටිපස්සෙ තියෙනවාලූ.

පෙට්ටගම් ගලට පහලින් තියෙනවා වළගම්බා රජ්ජුරුවො හැංගිලා හිටපු ගල්ගුහාව. රජ්ජුරුවො පාවිච්චි දේවල් කීපෙකුත් එහෙන් හොයාගත්තලූ. අහු මුළු අස්සෙ රිංගන්න කැමති අයට නම් ඉතින් වවුල් බෙටි ගඳ ගුහාව රස සාගරයක් වේවි, හැබැයි පරෙස්සමින් වල් ඌරෙක්, රිලවෙක්, හඳුන් දිවියෙක් වගේ එකෙක් ඔයාලට සට්ටමක් දාන්නත් බැරි නෑ ගල්ගුහාව කිට්ටුවදි, මොකද ඒ ඉසව්ව එයාලෑ මිසක් ඔයාලෑ නෙමේනෙ නේද? ගුහාවට රිංගලා ඇතුලෙදි එක රෑණට ඇඟටම එන වවුල් රෑණකට මැදිවෙන්න වුණොත් ඒකට නම් මං වගකියන්නෑ ඕං. මං තනියම ගිය ගමනක් නිසා වවුල් බෙටි විමානෙ අස්සෙ මුල්ලෙ රිංගන්න ගියෙ නෑ, මොකට නිකං නිස්කාරණේ දුක් විඳිනවද ඉතින් මං ඔයාලට මෙහෙමත් තැනක් එතන තියෙනවා කිව්වම මදැයි නේද?

පිං බිමට, ලස්සන පරිසරේට හානියක් නොවෙන්න පෙට්ටගම් ගලේ අපූරුව හැබැහින් දැකලා විඳලා නිවී සැනසිලා එන්න හිතෙනව නම් ඔයා උපන් පුණ්‍යවන්තයෙක්. ස්වාමින්වහන්සේලාටයි එන සිල් ඇත්තන්ටයි එහෙ වැසිකිළි කැසිකිලිවල ඉඳලා අඩුපාඩු එමටයි, පුළුවන් කෙනෙක් ඉන්නව නම් දායකත්වයකුත් දීලා පිංකමකුත් කරගෙනම එන්න.